රියදුරන් සහ කොන්දොස්තරවරුන් මත්ද්‍රව්‍ය භාවිත කරන්නේ දැයි හඳුනා ගැනීම සඳහා දැනට ක්‍රියාත්මක ජංගම මත් පරීක්ෂණ වැඩසටහන, ඉදිරියේදී මුළු දිවයිනම ආවරණය වන පරිදි ව්‍යාප්ත කිරීමට ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය පියවර ගෙන තිබේ.
මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනය කිරීම නිසා සිදුවන රිය අනතුරු සහ ජීවිත හානි අවම කිරීම අරමුණු කරගනිමින් මෙම වැඩසටහන පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී ආරම්භ කෙරිණි. මේ දක්වා බස්නාහිර පළාත තුළ පමණක් රියදුරන් සහ කොන්දොස්තරවරුන් 5,242ක් පරීක්ෂාවට ලක් කර ඇති අතර, ඉන් 239 දෙනෙකු මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බව තහවුරු වී ඇත. ඔවුන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට කටයුතු කර තිබේ. මේ වසර අවසන් වීමට පෙර පරීක්ෂණ ක්‍රියාවලිය දෙගුණයකින් වැඩි කිරීමටත්, බස්නාහිර පළාතෙන් ඔබ්බට සෙසු පළාත්වලටත් මෙය ව්‍යාප්ත කිරීමටත් අපේක්ෂිතය.
ප්‍රවාහන ක්ෂේත්‍රයේ ආරක්ෂාව තහවුරු කිරීම සහ මගීන්ගේ සුරක්ෂිතතාව වෙනුවෙන් මෙම ජාතික වැඩසටහන ක්‍රියාත්මක කරන බව ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය, ජාතික ගමනාගමන කොමිසන් සභාව සහ මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව යන ආයතන ඒකාබද්ධව අවධාරණය කරයි.
















