ලබන ජූනි 16 වැනිදා එළිදැක්වීමට නියමිත නව ජාතික අපනයන සංවර්ධන සැලැස්මට අනුව, වසර 2030 වන විට ඇමෙරිකන් ඩොලර් බිලියන 36ක අපනයන ආදායම් ඉලක්කයක් සපුරා ගැනීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සභාපති මංගල විජේසිංහ මහතා පවසයි. 2025 අයවැය යෝජනාවකට අනුව සකස් කෙරුණු මෙම සැලැස්ම, ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) තාක්ෂණික සහය ඇතිව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති පාදක ණය (PBL) වැඩසටහන යටතේ නිර්මාණය කර තිබේ.
මෙම උපායමාර්ගික ජාතික සැලැස්ම ප්‍රධාන කුලුනු දෙකක් මත පදනම්ව ඇත. ඉන් පළමු කුලුන වන තිරස් අංශ (Horizontals) මඟින් සියලු ප්‍රමුඛතා අංශවල වර්ධනයට අවශ්‍ය මූලික පදනම සපයයි. මෙයට වෙළෙඳ පහසුකම් සැලසීම, වෙළෙඳ මූල්‍ය, ආයෝජන පරිසර පද්ධති සංවර්ධනය, වෙළෙඳ ප්‍රවර්ධනය, වෙළෙඳපොළ ප්‍රවේශය, සැපයුම් කළමනාකරණය, ගුණාත්මක යටිතල පහසුකම්, ප්‍රමිති සහ ESG (පාරිසාරික, සමාජීය හා පාලන) අනුකූලතාව මෙන්ම නිපුණතා සංවර්ධනය, නවෝත්පාදනය සහ ව්‍යවසායකත්වය ඇතුළත් වේ.
දෙවැනි කුලුන ලෙස අපනයන විවිධාංගීකරණය සහ අගය එකතු කිරීම ඉලක්ක කරගත් ප්‍රමුඛතා අංශ (Verticals) අටක් හඳුනාගෙන ඇත. මෝටර් රථ උපාංග, ඛනිජ පදනම් කරගත් කර්මාන්ත, රබර් ආශ්‍රිත කර්මාන්ත, සමුද්‍රීය කර්මාන්ත (බෝට්ටු සහ නැව් තැනීම ඇතුළුව), කුළුබඩු සහ සාන්ද්‍රණ, ඩිජිටල් නිෂ්පාදන සහ සේවා, විදුලි හා විද්‍යුත් උපාංග මෙන්ම සැකසූ ආහාර හා පාන වර්ග එම ප්‍රමුඛ ක්ෂේත්‍රයන් වේ.
අපනයන තරගකාරීත්වය වැඩිදියුණු කරමින්, අපනයනය මූලික කරගත් තිරසර ආර්ථික වර්ධනයක් රට තුළ ඇති කිරීම මෙම සමස්ත ව්‍යාපෘතියේ මූලිකම අරමුණ බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.















