2026 වසරේ මුල් මාස හතර තුළ ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 5,784.38ක් (ඇ.ඩො. බිලියන 5.7 ඉක්මවා) ලෙස වාර්තා වී තිබේ. මෙය 2025 වසරේ එම කාලසීමාවට සාපේක්ෂව 4.3%ක වර්ධනයකි.
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් නිකුත් කළ දත්තවලට අනුව මෙම කාලසීමාව තුළ අපනයන අංශයේ ප්‍රගතිය පහත පරිදි වේ
භාණ්ඩ අපනයනය: 4.8%ක වර්ධනයක් සහිතව ඇමරිකානු ඩොලර් මිලියන 4,524.62ක්.
සේවා අපනයනය: ඇමරිකානු ඩොලර් මිලියන 1,259.76ක් දක්වා ඉහළ යාම.
අප්‍රේල් මාසයේ කාර්යසාධනය: 2026 අප්‍රේල් මාසයේ සමස්ත අපනයන ආදායම 2025 අප්‍රේල් මාසයට සාපේක්ෂව 6%ක වර්ධනයක් පෙන්නුම් කරමින් ඇමරිකානු ඩොලර් මිලියන 1,380.93ක් ලෙස වාර්තා වේ.
ගෝලීය ආර්ථික අභියෝග හමුවේ වුවද මෙම ප්‍රගතිය අත්පත් කරගැනීම මගින් මෙරට අපනයන අංශයේ ස්ථාවරත්වය සහ ශක්තිමත්භාවය මැනවින් විද්‍යාමාන වන බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා ප්‍රකාශ කරයි. ජාතික අපනයන සංවර්ධන සැලැස්ම යටතේ ක්‍රියාත්මක උපායමාර්ගික පියවරයන් සහ වෙළඳපොළ විවිධාංගීකරණය මගින් ඉදිරි ඉලක්ක සපුරා ගැනීමට විශාල ශක්තියක් ලැබෙනු ඇති බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.














