මැදපෙරදිග කලාපයේ පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවේ අපනයන ආදායමට දැඩි බලපෑමක් එල්ල වී ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා ප්‍රකාශ කරයි. විශේෂයෙන්ම මැදපෙරදිග රටවලින් ලැබෙන අපනයන ආදායම සියයට 48ක කැපී පෙනෙන පසුබෑමක් පෙන්නුම් කරන බව ඔහු පෙන්වා දෙයි. මැදපෙරදිග අර්බුදය හේතුවෙන් නැව් ගාස්තු සහ රක්ෂණ ගාස්තු ඉහළ යාම මෙරට අපනයනකරුවන් මුහුණ දෙන ප්‍රධානතම අභියෝගය බවට පත්ව තිබේ.
කලාපීය අර්බුද හමුවේ වුවද, පසුගිය මාර්තු මාසයේ මෙරට සමස්ත අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 1,466ක් (වෙළෙඳ භාණ්ඩ අපනයනයෙන් ඩොලර් මිලියන 1,180ක් සහ සේවා අංශයෙන් ඩොලර් මිලියන 286ක්) දක්වා සාධනීය මට්ටමකට පැමිණ ඇත. මෙය 2026 පෙබරවාරි මාසයට සාපේක්ෂව සියයට 9ක වර්ධනයක් වුවද, 2025 වසරේ මාර්තු මාසයට සාපේක්ෂව සියයට 5.2ක අඩුවීමකි. මාර්තු මාසය තුළ යුරෝපා, අප්‍රිකානු සහ ආසියානු රටවලින් ශ්‍රී ලංකාවේ අපනයන සඳහා හොඳ ඉල්ලුමක් පැවති බව අපනයන සංවර්ධන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.














