2026 වසරේ පළමු කාර්තුව (Q1) තුළදී ශ්‍රී ලංකා රජය ඇමෙරිකානු ඩොලර් මිලියන 195ක විදේශ ණය ප්‍රමාණයක් ගෙවා දමා ඇති බව නිල දත්ත පෙන්වා දෙයි. මෙම පියවීමත් සමඟ 2026 පළමු කාර්තුව අවසානය වන විට රටේ සමස්ත බාහිර (විදේශ) ණය බර ඇමෙරිකානු ඩොලර් මිලියන 37,468ක් දක්වා පහත වැටී තිබේ.
රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය (PDMO) විසින් නිකුත් කරන ලද 2026 මාර්තු ණය සංඛ්‍යාලේඛන වාර්තාවට අනුව, රටේ සමස්ත දළ රාජ්‍ය ණය ප්‍රමාණය අතුරින් මධ්‍යම රජයට අයත් ණය සංරචකය ඇමෙරිකානු ඩොලර් මිලියන 98,965ක් ලෙස සටහන්ව ඇත.
ශ්‍රී ලංකාවේ විදේශ ණය ව්‍යූහය දෙස බැලීමේදී බහුපාර්ශ්වික ණය ප්‍රමාණය සමස්ත විදේශ ණයවලින් සියයට 38ක් ලෙස ප්‍රමුඛස්ථානයක් ගනියි. මෙහි ප්‍රධාන ණය හිමියන් වන්නේ ආසියානු සංවර්ධන බැංකුව (ADB) සහ ලෝක බැංකුව වන අතර, ඔවුන් සමස්ත බහුපාර්ශ්වික ණය තොගයෙන් සියයට 82කට වඩා වැඩි ප්‍රමාණයකට හිමිකම් කියයි.
මීට අමතරව වාණිජ ණය ප්‍රතිශතය සියයට 34ක් වන අතර ඉන් ආසන්න වශයෙන් සියයට 81ක්ම සමන්විත වන්නේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර (ISB) නිකුතුවලිනි. ඉතිරි කොටස විදේශ විනිමය කාලීන මූල්‍ය පහසුකම් වේ. ද්විපාර්ශ්වික ණය ප්‍රතිශතය සියයට 28ක් ලෙස සටහන් වන අතර ඉන් සියයට 59ක්ම චීනය ප්‍රමුඛ පැරිස් සමාජයට අයත් නොවන රටවල් සතුය. පැරිස් සමාජයට අයත් රටවල් සතු විදේශ ණය ප්‍රතිශතය සියයට 41ක් බව අදාළ වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.
















