ශ්‍රී ලංකාව මේ වන විට ඩෙංගු ‘අධි වසංගත’ (Hyper-epidemic) තත්ත්වයකට මුහුණ දී සිටින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පවසන්නීය. දැනට රෝහල්ගත වන ඩෙංගු රෝගීන්ගෙන් සියයට 80කට පමණ ‘ඩෙංගු 2’ (DENV-2) වෛරස් ප්‍රභේදය වැළඳී ඇති අතර, ඉතිරි සියයට 20ක පිරිසට ‘ඩෙංගු 3’ වෛරසය වැළඳී ඇති බව ඇය මාධ්‍ය හමුවකදී පෙන්වා දුන්නාය. මීට පෙර 2017 වසරේදී ද මෙවැනිම දරුණු වසංගත තත්ත්වයක් ඇති වූයේ මෙම ‘ඩෙංගු 2’ වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙනි.
මෙහිදී විශේෂ අනාවරණයක් කරමින් මහාචාර්යවරිය සඳහන් කළේ, ‘ඩෙංගු 2’ වෛරසය වැළඳුණු රෝගීන්ගේ ‘NS1 Antigen’ (ඇන්ටිජන්) පරීක්ෂණය ‘පොසිටිව්’ (Positive) වීමේ සම්භාවිතාව අනෙක් ප්‍රභේදවලට වඩා අඩු මට්ටමක පවතින බවයි.
එබැවින් ඇන්ටිජන් පරීක්ෂණය ‘නෙගටිව්’ (Negative) වූ පමණින් තමන්ට ඩෙංගු නොමැති බව තීරණය කර, වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු නොවී සිටීම අතිශය අවදානම් සහගත බව ඇය අවධාරණය කළාය.
“ඩෙංගු මරණ සහ සංකූලතා වැඩිවෙන්නේ රෝගීන් රෝහල්ගත වීමට ප්‍රමාද වෙන නිසයි. ඇන්ටිජන් පරීක්ෂණය නෙගටිව් වුණත්, උණ පවතී නම් වහාම වෛද්‍ය උපදෙස් පැතීම වැදගත්” යැයි ද ඇය සඳහන් කළාය.
දැනට රට තුළ ඉන්ෆ්ලුවෙන්සා සහ ඇඩිනෝ වෛරස් වැනි උණ රෝග කිහිපයක්ම ව්‍යාප්ත වෙමින් පවතින බැවින්, උණ වැළඳී ඇත්නම් කල්තියා රෝගය හඳුනාගෙන නිසි ප්‍රතිකාර සඳහා යොමුවීම මගින් ජීවිත අවදානම අවම කරගත හැකි බව මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය වැඩිදුරටත් කියා සිටියාය.
















