ශ්‍රී ලංකා තේ ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ඊජිප්තුවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) එක්ව විශේෂ ප්‍රවර්ධන වැඩසටහනක් සංවිධානය කර තිබේ. කයිරෝ නුවර පිහිටි FAO කලාපීය කාර්යාලයේදී ජාත්‍යන්තර තේ දිනය නිමිත්තෙන් පැවැත්වුණු මෙම උත්සවය, ලක් තේ සතු පොහොසත් සංස්කෘතිය සහ උරුමය ජාත්‍යන්තරය හමුවේ ප්‍රදර්ශනය කළ සුවිශේෂී අවස්ථාවක් විය. විවිධ රටවල තානාපතිවරුන්, රජයේ නිලධාරීන් සහ තේ කර්මාන්තයේ ව්‍යාපාරික නායකයන් ඇතුළු 200කට අධික පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
මෙහිදී ශ්‍රී ලංකාවේ ප්‍රධාන තේ වගාකරන කලාප හතෙහි (Seven Regions) තේවල සුවිශේෂී රසයන් සහ ගුණාංග පිළිබඳව ප්‍රදර්ශනයක් සහ තේ රස බලන සැසියක් පවත්වා ඇති අතර, උසස් ප්‍රමිතියෙන් යුත් ලාංකීය අත්කම් තේ නිෂ්පාදන කෙරෙහි එහිදී වැඩි අවධානයක් යොමු විය. මීට අමතරව, කයිරෝවේ වෙසෙන ශ්‍රී ලාංකික සිසුන් පිරිසක් විසින් ඉදිරිපත් කළ තේ දලු නෙළීමේ සාම්ප්‍රදායික නර්තනය සහ තේ සංස්කෘතිය පිළිබඳ පැවැත්වුණු තරගාවලිය ද මෙම උත්සවයට ඉහළ වර්ණවත් බවක් එක් කළේය.
















