වසර 22කට අධික කාලයක් භාවිත කළ ලංකා බැංකුවේ දැනට පවතින බැංකු පද්ධතිය ඉවත් කර, අමෙරිකානු ඩොලර් මිලියන 10ක වියදමින් නව මූලික බැංකු පද්ධතියක් ස්ථාපිත කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ.
දැනට පවතින ජාත්‍යන්තර විස්තීර්ණ බැංකු පද්ධතිය බැංකුවේ සිල්ලර සහ ආයතනික මෙහෙයුම් මෙන්ම විදේශීය ශාඛාවන් සඳහා ද සහාය දක්වයි. කෙසේ වෙතත්, වත්මන් බැංකු මෙහෙයුම් අවශ්‍යතා සපුරාලීමට එම පද්ධතියේ තාක්ෂණය සහ පහසුකම් ප්‍රමාණවත් නොවන බව හඳුනාගෙන ඇත.
එබැවින් පවතින පද්ධතිය උත්ශ්‍රේණිගත කිරීම වෙනුවට නව පද්ධතියක් මිලදී ගැනීමට ලංකා බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර තිබේ. ඒ අනුව, සුදුසු සේවා සපයන්නෙකු තෝරා ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කිරීම සඳහා මුදල්, සැලසුම් හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දුන්නේය.
මෙම නව පද්ධතිය වසර පහක කාලයක් තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, ඒ සඳහා වැය වන ඇස්තමේන්තුගත පිරිවැය ලංකා බැංකුව විසින්ම දරනු ඇත.
















