ශ්‍රී ලංකාවේ වැවිලි අංශයේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා නව මානයක් එක් කරමින්, සම්පූර්ණයෙන්ම දේශීය ජල විදුලිබල පහසුකම් මගින් බලගැන්වෙන දිවයිනේ පළමු පාරිසරික ද්‍රව්‍ය එකතු කිරීමේ සහ සැකසුම් මධ්‍යස්ථානය තලවකැලේ තේ වතු පීඑල්සී හවුකාරීත්වයෙන් සහ කොකා-කෝලා පදනමේ මූල්‍ය දායකත්වයෙන් නුවරඑළිය රදැල්ල සමර්සෙට් වතුයායේදී නිල වශයෙන් ආරම්භ කර තිබේ. අවිධිමත් අපද්‍රව්‍ය කළමනාකරණය විධිමත් කිරීම සහ කාන්තා මෙන්ම තරුණ සහභාගීත්වය ශක්තිමත් කිරීම අරමුණු කරගත් (SWYFT) ව්‍යාපෘතිය යටතේ ස්ථාපිත කර ඇති මෙම නවීන මධ්‍යස්ථානය හරහා පරිසර සංවේදී නුවරඑළිය කඳුකර ප්‍රදේශයේ ජල මාර්ග සහ ඉහළ ජල පෝෂක ප්‍රදේශ ආරක්ෂා කර ගැනීමට පුළුල් අවකාශයක් සැලසී ඇත.
නානුඔය ගඟේ කුඩා පරිමාණ ජල විදුලි බලාගාරයකින් ලැබෙන පිරිසිදු පුනර්ජනනීය බලශක්තිය මෙම පහසුකම සඳහා සම්පූර්ණයෙන්ම භාවිතා වන අතර, ප්‍රදේශයෙන් එකතු කරන ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රවාහනයට යොදාගන්නා විදුලි ත්‍රිරෝද රථ සහ බයිසිකල් ආරෝපණය කරගැනීමටද එම හරිත බලශක්තිය සෘජුවම දායක කරගනු ලැබේ. සෑම මසකම ප්ලාස්ටික් බෝතල් මෙට්‍රික් ටොන් තුනක ප්‍රමාණයක් සැකසීමේ හැකියාව ඇති මෙමඟින් ප්‍රදේශයේ අවිධිමත් අපද්‍රව්‍ය එකතු කරන්නන් රැසකගේ ජීවනෝපාය මාර්ග සවිබල ගැන්වෙන අතරම, කාබන් පියසටහන අවම කර ගනිමින් චක්‍රලේඛ ආර්ථිකයක සැබෑ ප්‍රතිඵල අත්පත් කර ගැනීමට මෙරට වැවිලි ක්ෂේත්‍රයට කදිම ආදර්ශයක් සපයා ඇත.
පුනර්ජනනීය බලශක්තිය, වගකිවයුතු අපද්‍රව්‍ය කළමනාකරණය සහ ප්‍රජා සවිබල ගැන්වීම එකම ආකෘතියකට ගෙන එමින් ක්‍රියාත්මක වන මෙම පුරෝගාමී ව්‍යාපෘතිය ඉදිරියේදී දිවයිනේ අනෙකුත් ප්‍රදේශ වෙතද පුළුල් කිරීම හරහා මෙරට පාරිසරික තිරසාරභාවය සහ හරිත ආර්ථික ඉලක්ක ජය ගැනීමට ප්‍රබල රුකුලක් වනු ඇත. පරිසර සංරක්ෂණය සහ ආර්ථික සංවර්ධනය එකිනෙකට බද්ධ කරමින් ඉදිරිපත් කර ඇති මෙම ආකෘතිය මඟින් ශ්‍රී ලංකාවේ හරිත බලශක්ති පරිවර්තනයට මෙන්ම තිරසාර සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීමට දිගුකාලීන සහ ජාතික මට්ටමේ වැදගත් දායකත්වයක් හිමි වනු නිසැීය.














