පසුගියදා සිදුවූ ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ මෙරට ධීවර ප්‍රජාව දැඩි පීඩනයකට පත්ව සිටින අතර, රජය පොරොන්දු වූ සහනාධාර මෙතෙක් තමන් වෙත ලැබී නොමැති බවට ඔවුන් මැසිවිලි නගති. ඉන්ධන මිල ඉහළ යාම නිසා ධීවර කටයුතු සඳහා වැයවන පිරිවැය දරාගත නොහැකි මට්ටමකට පත්ව ඇති බවත්, මේ හේතුවෙන් බොහෝ පිරිසක් මුහුදු යාමෙන් වැළකී සිටින බවත් ඔවුහු පෙන්වා දෙති.
විශේෂයෙන්ම රජය විසින් සහනාධාර ලබාදෙන බව පවසමින් විවිධ අයදුම්පත් සහ තොරතුරු ලබාගත්තද, මෙතෙක් ප්‍රායෝගිකව කිසිදු මූල්‍යමය හෝ ඉන්ධන සහනයක් තමන්ට ලැබී නොමැති බව ධීවර සංගම් නියෝජිතයෝ පවසති. “සහනාධාර දෙනවා කියලා ෆෝම් නම් ගත්තා, ඒත් තාම ලැබුණු දෙයක් නෑ” යනුවෙන් පවසන ඔවුන් අවධාරණය කරන්නේ පවතින ආර්ථික අපහසුතා මධ්‍යයේ තවදුරටත් ඉන්ධන මිල ඉහළ දැමීම තම ජීවනෝපාය සම්පූර්ණයෙන්ම කඩා වැටීමට හේතුවන බවයි. මෙම තත්ත්වය හමුවේ වහාම ක්‍රියාත්මක වන පරිදි ධීවර ක්ෂේත්‍රය සඳහා ඉන්ධන සහනයක් ලබාදීමට පියවර ගන්නා ලෙස ඔවුන් රජයෙන් ඉල්ලා සිටියි.















