විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා එක්සත් ජාතීන්ගේ 81 වැනි මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහා අද (26) ඇමෙරිකාවේ නිව්යෝර්ක් බලා පිටත්ව යාමට නියමිතය. ශ්‍රී ලංකා දූත පිරිසේ ප්‍රධානියා ලෙස සහභාගී වන අමාත්‍යවරයා සැප්තැම්බර් 28 වැනිදා මහා මණ්ඩලයේ මහ සභා විවාදයේදී ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙහිදී ශ්‍රී ලංකාවේ වර්තමාන විදේශ ප්‍රතිපත්ති ප්‍රමුඛතා සහ ගෝලීය ගැටලු සම්බන්ධයෙන් රටේ ස්ථාවරය ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ ඉදිරිපත් කිරීමට අමාත්‍යවරයාට අවස්ථාව හිමිවනු ඇත. මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා, එක්සත් ජාතීන්ගේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ රටවල් කිහිපයක විදේශ අමාත්‍යවරුන් සමඟ ද්විපාර්‌ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිත බව අමාත්‍යාංශය පවසයි.
මෙවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය සැප්තැම්බර් 27 සිට 30 දක්වා පැවැත්වෙන අතර, “Restoring Trust, Managing Transformation: A United Nations That Delivers for All” යන තේමාව යටතේ එය පැවැත්වෙයි. මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව ද්විපාර්‌ශ්වික සහ බහුපාර්‌ශ්වික රාජ්‍යතාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීම සඳහා සාකච්ඡා පැවැත්වීමට ද ශ්‍රී ලංකා දූත පිරිස අපේක්ෂා කරයි.
















