ඊයේ (13) දිනය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුවූ මාරක රිය අනතුරු හතරකින් පුද්ගලයන් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වාර්තා කරයි. මෙම අනතුරු හතරම යතුරුපැදි පාලනය කරගත නොහැකි වීමෙන් සිදුවීම විශේෂත්වයකි.
අහංගම – ඉමදූව මාර්ගයේදී යතුරුපැදියක් විදුලි රැහැන් කණුවක ගැටීමෙන් අහංගම, පියදිගම ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙකු මියගොස් ඇත. තිරුක්කෝවිල් – පොතුවිල් මාර්ගයේදී යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙන් 42 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තිබේ. රතුපස්වල – හේනේගම මාර්ගයේදී යතුරුපැදියක් පාලනයෙන් ගිලිහී පෙරළී ගොස් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ගැටීමෙන් 24 හැවිරිදි පසුපැදිකරු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇත. පිටිගල – පැලවත්ත මාර්ගයේදී යතුරුපැදියක් බෝක්කුවක ගැටීමෙන් පිටිගල පදිංචි 21 හැවිරිදි තරුණයෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් තිබේ.














