ඉදිරියේදී විදුලි ගාස්තු වැඩි කිරීමක් සඳහා කිසිදු අනුමැතියක් ලබා නොදෙන ලෙස ඉල්ලමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් මහජන උපයෝගීතා කොමිසම වෙත ලිපියක් යොමු කර ඇති බව පක්ෂයේ ලේකම් පුබුදු ජාගොඩ මහතා ප්රකාශ කරයි
ප්රමිතියෙන් තොර ගල්අඟුරු ගෙන ඒම නිසා අපේක්ෂිත විදුලි ධාරිතාව ජනනය කරගැනීමට නොහැකි වීම හේතුවෙන් ඩීසල් භාවිතා කිරීමට සිදුව ඇති බවත්, දැනටමත් දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක් පමණ විදුලි නිෂ්පාදනය සඳහා වැය වන බවත් ඔහු පෙන්වා දෙයි. මීට අමතරව, ගල්අඟුරු තොග කලින්ම අවසන් වීම සම්බන්ධයෙන් නැව් දෙකක පමණ (මෙට්රික් ටොන් ප්රමාණයක) අඩුවක් ඇති බවට සැක මතුවී ඇති බැවින් ඒ පිළිබඳව පුළුල් විමර්ශනයක් පවත්වන ලෙසද ඉල්ලා ඇත.
මේ අතර, ඉන්ධන සඳහා ලබා දුන් සහනාධාරය පසුගිය 31 වැනි දිනෙන් අවසන් වීම සහ විදුලි බිල වැඩි කිරීමට ආණ්ඩුව සූදානම් වීම හමුවේ උද්ධමනය 8% සීමාව දක්වා ඉහළ ගොස් ඇති වර්තමාන පසුබිමක ජනතාවට තවත් දැඩි පීඩනයකට මුහුණ දීමට සිදුවන බව පක්ෂය අවධාරණය කරයි.














