ක්ෂුද්ර මූල්ය ක්ෂේත්රය විධිමත් ලෙස නියාමනය කිරීම සඳහා ක්ෂුද්ර මූල්ය හා ණය නියාමන අධිකාරි පනතේ විධිවිධාන කඩිනමින් ක්රියාත්මක කිරීමේ අවශ්යතාව පිළිබඳව පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවක අවධානය යොමුව තිබේ.
ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්රී නීතිඥ ලක්මාලි හේමචන්ද්ර මහත්මියගේ ප්රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව සාකච්ඡා කර ඇත.
අවිධිමත් ලෙස අධික පොලී අය කරමින් ජනතාව පීඩාවට පත් කරන ණය දෙන ආයතන පාලනය කිරීම මෙන්ම නීත්යනුකූලව ක්රියාත්මක වන ක්ෂුද්ර මූල්ය ආයතන සඳහා සාධාරණ නියාමන පරිසරයක් සැකසීමේ අවශ්යතාවද මෙහිදී අවධාරණය වී තිබේ.
ආයතන සඳහා බලපත්ර ලබාදීමේ ක්රියාවලියේ පවතින නීතිමය හා ප්රායෝගික ගැටලු, තැන්පතු ලබාගැනීමේ සීමා සහ අරමුදල් පිරිවැය පිළිබඳවද සාකච්ඡා කර ඇත. දැනට ක්රියාත්මක ආයතනවලට බලපත්ර ලබාගැනීම පහසු කිරීම, නියාමනයට යටත්ව සීමිත මහජන තැන්පතු ලබාගැනීමට අවස්ථාව සැලසීම සහ අඩු පිරිවැයකින් අරමුදල් ලබාගැනීමේ අවස්ථා පුළුල් කිරීම පිළිබඳ යෝජනාද ඉදිරිපත් වී තිබේ.
ආසියානු සංවර්ධන බැංකුව වැනි ජාත්යන්තර ආයතනවලින් ලැබෙන සහනදායී අරමුදල් නියාමනයට යටත් ක්ෂුද්ර මූල්ය ආයතන වෙත ලබාදීමේ යාන්ත්රණයක් සකස් කිරීම තුළින් ණය පොලී අනුපාත අඩු කිරීමේ හැකියාව පිළිබඳවද අවධානය යොමුව ඇත. පාරිභෝගික ආරක්ෂාවට අදාළ වගන්ති ක්රියාත්මක කිරීම, නියාමන අධිකාරිය පිහිටුවීමට ගතවන කාලය සහ බලපත්ර ලබාගැනීම සඳහා ආයතනවලට ලබාදී ඇති කාලසීමාවද සාකච්ඡාවට ලක්ව තිබේ.
මේ අතර, ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ් ආයතනයට ග්රිඩ් 68ක ඛනිජ වැලි කැණීම් අයිතිය ලබාදීම සහ මෙහෙයුම් සහාය සැපයීම සම්බන්ධ කරුණු පිළිබඳවද කාරක සභාවේ අවධානය යොමුවී ඇත. ඒ සම්බන්ධයෙන් අවශ්ය නිර්දේශ නිකුත් කිරීමට කාරක සභාව තීරණය කර තිබේ.
නැගෙනහිර වෙරළ තීරයේ ඛනිජ වැලි තැන්පතු යොදාගනිමින් අගය එකතු කළ කර්මාන්ත සඳහා අවශ්ය අමුද්රව්ය අඛණ්ඩව සැපයීමේ වැදගත්කමද මෙහිදී සාකච්ඡා වී ඇත. ඛනිජ වැලි අමුද්රව්ය ලෙස පමණක් අපනයනය කිරීම වෙනුවට අගය එකතු කළ නිෂ්පාදන ලෙස අපනයනය කිරීමේ ප්රතිපත්තියට අනුව දේශීය හා විදේශීය ආයෝජකයන් ආකර්ෂණය කරගැනීම පිළිබඳවද අවධානය යොමුව තිබේ.
තවද, අතීතයේ නිකුත් කළ ඛනිජ කැණීම් බලපත්ර සමාලෝචනය කිරීම, අක්රමවත් බව හඳුනාගන්නා බලපත්ර සම්බන්ධයෙන් අවශ්ය පියවර ගැනීම සහ අදාළ ඛනිජ තැන්පතු ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ් ආයතනයට පැවරීම පිළිබඳවද සාකච්ඡා කර ඇත.
පසුගිය කාලයේ සිදුවූ බවට හඳුනාගෙන ඇති ඇතැම් අක්රමිකතා සම්බන්ධ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබාදීමට පියවර ගෙන ඇති බවද එහිදී සඳහන් වී තිබේ. ඉදිරියේදී ඛනිජ කැණීම් බලපත්ර නිකුත් කිරීමේදී විනිවිදභාවය සහ ආයතන අතර සම්බන්ධීකරණය තහවුරු කිරීම සඳහා බහු ආයතනික කමිටු ක්රමවේදයක් ක්රියාත්මක කිරීම පිළිබඳවද අවධානය යොමුව ඇත.














