ආනයනික ගල්අඟුරුවල පවතින ප්‍රමිතිය පිළිබඳ ගැටලුවේ බර කිසිසේත්ම ජනතාව මත පැටවීමට රජය කටයුතු නොකරන බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කළේය. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (02) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය. ජනාධිපතිවරයා මෙන්ම මහජන උපයෝගීතා කොමිෂන් සභාව ද මේ පිළිබඳව පැහැදිලි ස්ථාවරයක සිටින බව ඔහු සිහිපත් කළේය.
ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු නැවක් පැමිණි විට කටයුතු කළ යුතු නිශ්චිත නීත්‍යානුකූල ක්‍රියාවලියක් පවතින බවත්, වත්මන් රජය එම ක්‍රියාවලිය නිසි පරිදි ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා පැවසීය. අතීතයේදී මෙවැනි අවස්ථාවලදී නිසි පරිදි නීතිය ක්‍රියාත්මක වී නොමැති බවත්, අදාළ සමාගම්වලට දඩ ගසා නොමැති බවත් පෙන්වා දුන් ඒ මහතා, වත්මන් රජය මේ වන විටත් රඳවා ගත් ඩොලර් ප්‍රමාණයක් පවතින බව ද අනාවරණ කළේය. එමෙන්ම, අදාළ දඩ මුදල් ප්‍රමාණවත් නොවේ නම්, පාඩුව මුළුමනින්ම අයකර ගැනීම සඳහා අදාළ සමාගම්වලට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග වෙත යොමු වන බව ද ඔහු අවධාරණය කළේය.
මේ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ජනාධිපති කොමිසමක් පත් කර ඇති අතර, ඊට කරුණු ඉදිරිපත් කිරීමට මැයි 22 දක්වා අවස්ථාව ලබා දී තිබුණි. මෙම කොමිෂන් සභාව පූර්ණ බලැති එකක් වන බැවින්, ඉදිරියේදී ඒ හරහා දැඩි තීන්දු තීරණ ගනු ලබන බව ද කැබිනට් ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය.
















