ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව කිසිදු අයුරකින් ඇදවැටීමට රජය ඉඩ නොතබන බවත්, රජය විසින් හඳුන්වා දී ඇති යෝජිත ප්රතිසංස්කරණ මඟින් මෙරට ක්රිකට් ක්රීඩාවේ ප්රමිතිය ඉහළ නැංවීමට හැකි වනු ඇති බවට තමන් දැඩි විශ්වාසයකින් පසු වන බවත් යෞවන කටයුතු හා ක්රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී ප්රකාශ කළේය. පාර්ලිමේන්තු මන්ත්රී හේෂා විතානගේ මහතා මතු කළ ප්රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මෙම අදහස් පළ කළේය.
පාර්ලිමේන්තු මන්ත්රී හේෂා විතානගේ මහතා මෙහිදී පෙන්වා දුන්නේ හිටපු ශ්රී ලංකා ක්රිකට් සභාපති ශම්මි සිල්වා මහතාගේ පාලන සමයට වඩා වත්මන් ශ්රී ලංකා ක්රිකට් පාලනයේ සහ ක්රීඩාවේ තත්ත්වය පිරිහී ඇති බවයි. ඊට පිළිතුරු දෙමින් ක්රීඩා ඇමැතිවරයා අවධාරණය කළේ මෙරට ක්රිකට් ක්රීඩාව ප්රතිසංස්කරණය කිරීම සහ සංවර්ධනය කිරීම අරමුණු කරගත් නව පනත් කෙටුම්පතක් දැනටමත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවත්, එය විවාදයට ගෙන අනුමත වන තෙක් අපේක්ෂාවෙන් සිටින බවත්ය.
නීති සම්පාදන ක්රියාවලියට යම් කාලයක් ගත වුවද, යෝජිත ප්රතිසංස්කරණ මඟින් ශ්රී ලංකාවේ ක්රිකට් ප්රමිතිය ඉහළ නැංවීමට එය දැඩි ලෙස උපකාරී වන බව පැවසූ ඇමැතිවරයා, විපක්ෂයේ ද සහය ඇතිව මෙම ක්රියාවලිය සාර්ථකව ඉදිරියට ගෙන යමින් සිටින බව සඳහන් කළේය. ක්රිකට් ක්රීඩාව නිවැරදි කර ඉදිරියට ගෙන යාම සඳහා සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.














