2026 අයවැය යෝජනාවලට අනුව රාජ්‍ය අංශයේ ආයතනවල දැනට සේවය කරන තාවකාලික, අනියම්, ආදේශක සහ කොන්ත්‍රාත් පදනමේ සේවකයන් ස්ථිර සේවයට ඇතුළත් කරගැනීම සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
මෙම නව තීරණයට අනුව 2019 සැප්තැම්බර් 01 වැනිදා වන විට නියමිත සුදුසුකම් සපුරා තිබූ ඉහත සඳහන් වර්ගවලට අයත් සියලුම සේවකයන් ස්ථිර සේවයට බඳවා ගැනීමට කටයුතු කරනු ඇත. මීට අමතරව, මීට පෙර චක්‍රලේඛ විධිවිධාන යටතේ ස්ථිර පත්වීම් ලැබුණද ඒවා මෙතෙක් විධිමත් වී නොමැති සේවකයන්ගේ පත්වීම් ද මෙමඟින් විධිමත් කිරීමට නියමිතය.
කෙසේ වෙතත්, මෙම චක්‍රලේඛය හරහා රජය තවත් වැදගත් නියෝගයක් පනවා ඇත. එනම්, මින් ඉදිරියට අනුමත කාර්ය මණ්ඩලයෙන් පරිබාහිරව හෝ සේවා ව්‍යවස්ථාවන්ට පටහැනිව කිසිදු ආකාරයක තාවකාලික, අනියම් හෝ කොන්ත්‍රාත් පදනමේ බඳවා ගැනීමක් සිදු නොකළ යුතු බවයි. යම් හෙයකින් එවැනි බඳවා ගැනීමක් සිදුකළහොත්, එහි සම්පූර්ණ වගකීම අදාළ පත්වීම් බලධාරියා හෝ පත්වීම් ලිපිවලට අත්සන් තබන නිලධාරියා විසින් දැරිය යුතු බව රජය අවධාරණය කරයි.














