27 April 2024
#දේශීය

ශ්‍රී ලංකාව වෛරසය සාර්ථකව පාලනය කලා – ජනපති

නිවැරදිව කොරෝනා ආසාදිතයන් පමණක් නොව ඔවුන් සමීපව ඇසුරු කළ පුද්ගලයන් ද හඳුනා ගැනුණු අතර ඔවුන් නිරෝධායනය සඳහා යොමු කිරිමෙන් ශ්‍රී ලංකාවට වෛරසය සාර්ථකව පාලනය කිරීමට ඉවහල් වු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (18) ජනාධිපති ලේකම් කාර්යාලයේදී යුරෝපා සංගමයේ කොළඹ සිටින තානාපතිවරු හමුවී කොවිඩ් – 19 අර්බුදයෙන් පසු ආර්ථිකය නැවත ගොඩනැංවීම පිළිබඳව සාකච්ඡාවේදිය.

වසංගතය හේතුවෙන් උද්ගත වූ සෞඛ්‍ය අභියෝග ආමන්ත්‍රණය කිරීම සඳහා මහජන සෞඛ්‍ය සේවාව කඩිනමින් යොදා ගැනීමට ශ්‍රී ලංකාව ක්‍රියා කළ බව රාජපක්ෂ මහතා පැවසීය.

රට ඉදිරියේ ඇති ඊළඟ අභියෝගය ආර්ථිකය නැවත ගොඩනැංවීම බව පෙන්වා දුන් ජනාධිපතිවරයා වත්මන් ආර්ථික වර්ධන වේගය ඉතා පහළ අගයක් ගන්නා බවත් ජාතික ණය ප්‍රමාණය ඉහල ගොස් ඇති බවත් පෙන්වා දුන්නේය.

මේ දුෂ්කර අවස්ථාව ජයගැනීම සඳහා ආනයන දැඩිව පාලනය කළ යුතු අතර එසේ වුවත් ශ්‍රී ලංකාව සංවෘත ආර්ථිකයක් බව මින් අදහස් නොකෙරෙන බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

දේශීය කර්මාන්ත නඟා සිටුවීමේ තම අභිලාෂය පිළිබඳව ජනාධිපති රාජපක්ෂ මහතා මෙහිදී සඳහන් කළේය. බොහෝ ආහාර වර්ග දේශීයව නිෂ්පාදනය කළ හැකි බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. එබැවින් ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ මෙම ක්ෂේත්‍රයේ නවීකරණය කිරීම වන අතර කාබනික පොහොර, ගුණාත්මක බීජ සහ දියුණු තාක්ෂණය හඳුන්වා දීමේ ඇති වැදගත්කම පිළිබඳව ද හෙතෙම පෙන්වා දුන්නේය.

නිසි ගබඩා පහසුකම් නොමැති වීම හේතුවෙන් කෘෂි නිෂ්පාදන වලින් 40%ක් පමණ අපතේ යන අතර එබැවින් ටින් කිරීම සහ නැවුම් නිෂ්පාදන වේලීම වැනි ක්‍රමවේද දියුණු කිරීමේ අවශ්‍යතාවය ජනාධිපතිවරයා අවධාරණය කළේය.

උද්ගතව ඇති තත්ත්වය හමුවේ ණය කපාහැරීමක් සිදුවන්නේ නම් එය ශ්‍රී ලංකාවට ප්‍රතිඵලදායක වනු ඇති බව ජනාධිපතිවරයා පැවසිය. තවදුරටත් ණය ගැනීම විකල්පයක් නොවන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා කියා සිටියේ ශ්‍රී ලංකාවට දැන් අවශ්‍ය වන්නේය.

ජනාධිපතිවරයා සූර්ය ශක්තිය සහ සුළං බලය භාවිතයෙන් නිපදවෙන පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති කෙරෙහි යුරෝපා සංගම් දූත කණ්ඩායමේ අවධානය යොමු කළේය. රටේ තරුණ ප්‍රජාවට නව තාක්ෂණයට දොරගුලු විවර කරදීමේ අවස්ථා පුළුල් කරමින් තොරතුරු පාදක අධ්‍යාපනික ක්‍රමවේදයක් දියුණු කිරීමේ තම අභිලාෂය පිළිබඳව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ඔන්ලයින් ක්‍රමයට අධ්‍යාපනයෙහි නිරත වන ශිෂ්‍ය සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩිවෙමින් පවතී. විශ්වවිද්‍යාල වැඩි සංඛ්‍යාවකට ශ්‍රී ලංකාවට ප්‍රවේශ වීමේ අවස්ථාව සලසලමින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සිය පණත් මේ වනවිට සංශෝධනය කරමින් සිටී.

ජනාධිපති රාජපක්ෂ මහතාට ධනාත්මක ලෙස ප්‍රතිචාර දැක්වූ යුරෝපා සංගම් නියෝජිත පිරිස තම රටවලට මෙම ක්ෂේත්‍රයන්හි දී ශ්‍රී ලංකාවට සහාය වීමේ විවිධ ක්‍රම පිළිබඳව ද දීර්ඝ ලෙස සාකච්ඡා කළහ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *