පොහොසත් රටක් සහ ලස්සන ජීවිතයක් ගොඩනැගීමට දායකවීම රාජ්‍ය සේවයේ නියුතු සැමගේ වගකීමක් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. නිදහස් සෞඛ්‍ය සේවාව තවදුරටත් ශක්තිමත් කරමින් වෘත්තීය කාණ්ඩ හතරකට අයත් ක්ෂේත්‍ර 14ක් සඳහා නව නිලධාරීන් 1,444 දෙනෙකුට පත්වීම් ලිපි ලබාදීමේ අවස්ථාවට අරලියගහ මන්දිර පරිශ්‍රයේදී එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
දිවයින පුරා රෝහල්වල පවතින මානව සම්පත් අවශ්‍යතා සපුරාලමින් ජනතාවට වඩාත් කඩිනම් හා ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීම මෙහි අරමුණයි. ඒ යටතේ කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන සේවා, ප්‍රාථමික ශිල්පීය සේවා, ප්‍රාථමික අර්ධ ශිල්පීය සේවා සහ ප්‍රාථමික ශිල්පීය නොවන සේවා යන කාණ්ඩවලට අයත්ව වෛද්‍ය සැපයීම් සහකාරවරුන්, වාට්ටු ලිපිකරුවන්, රෝහල් ඕවර්සියර්වරුන්, අරක්කැමියන්, සෞඛ්‍ය කාර්ය සහායකයන් (651ක්) සහ ක්ෂේත්‍ර මදුරු මර්දන සහායකයන් (285ක්) ඇතුළු පිරිසකට පත්වීම් හිමි විය. රටේ මිලියන 21.7ක ජනතාවගේ අපේක්ෂා ඉටුකිරීම සඳහා රාජ්‍ය සේවයේ නිරත සෑම අයෙකුම තම වගකීම් නිසි ලෙස ඉටු කළ යුතු බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
















