දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පවතින අධික උෂ්ණත්වයත් සමඟ තවත් ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාවත් හේතුවෙන් දරුවන් අතර විවිධ රෝග කාරක බෝවීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා අනතුරු අඟවා සිටියි. මේ දිනවල පවතින අධික රස්නය හමුවේ දරුවන්, වැඩිහිටියන් මෙන්ම ගර්භනී මව්වරුන් ද ඉක්මනින් විජලනයට පත්වීමේ අවදානමක් පවතින බැවින් දිනපතා ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීමට පියවර ගන්නා ලෙස ඒ මහතා ඉල්ලා සිටියි. වැඩිහිටියෙකු දිනකට අවම වශයෙන් ජලය ලීටර් 3ක්වත් පානය කළ යුතු අතර, දරුවන්ට ඔවුන්ගේ ශරීර බරට සරිලන පරිදි පිරිසිදු පානීය ජලය ලබා දීමට දෙමාපියන් දැඩි ලෙස වගබලා ගත යුතුය.
දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රමාණවත් පරිදි ජලය පානය නොකර කටයුතු කිරීමෙන් වකුගඩු ආබාධ ඇතිවීමේ ඉහළ ඉඩකඩක් පවතින බව වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු වී ඇති අතර, ජලය පානයකින් තොරව අව්වේ රැකියාවල නිරත වීම හෝ එළිමහනේ කාලය ගත කිරීම නිසා තාප කම්පන තත්ත්වයන්, ක්ලාන්තය සහ වලිප්පුව වැනි මාරාන්තික සංකූලතා ඇතිවිය හැකි බවද පෙන්වා දී තිබේ. එමෙන්ම මෙම කාලසීමාව තුළ පාචන තත්ත්වයන් පැතිරීමේ ඉහළ ප්‍රවණතාවක් පවතින බැවින් පැණි බීම සහ කෘත්‍රිම කෙටි ආහාර දරුවන්ට ලබා දීමෙන් වැළකී, දෙහි, නාරං, දොඩම්, තැඹිලි වතුර, කැඳ වර්ග සහ සුප් වැනි ස්වාභාවික දියර වර්ග ලබා දීමට කටයුතු කළ යුතුය.
දරුවන් එළිමහනේ ක්‍රියාකාරකම්වල යෙදෙන අවස්ථාවලදී ඔවුන්ට නිරන්තරයෙන් ජලය පානය කිරීමට සැලැස්වීම සහ අධික රස්නය සහිත වේලාවන්හිදී සුදුසු පියවර අනුගමනය කිරීම වැදගත් වේ. ඩිජිටල් තිර වෙත නිරන්තරයෙන් යොමුවී සිටින දරුවන් එමගින් මුදාගෙන විවිධ ශාරීරික ක්‍රියාකාරකම් සඳහා යොමු කරමින්, ඔවුන්ගේ සෞඛ්‍යාරක්ෂාව සහ පෝෂණ තත්ත්වය පිළිබඳව දෙමාපියන් ඉදිරියේදීත් දැඩි අවධානයෙන් පසුවිය යුතු බව විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කරයි.














