නිරිතදිග මෝසම් කාලගුණික තත්ත්වය හේතුවෙන් අද (22) සහ හෙට (23) දිනයන්හිදී බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලටත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලටත් මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ගතවූ පැය 24 තුළ උපරිම වර්ෂාපතනය ලෙස කෑගල්ල පඹේගම වතුයායෙන් මිලිමීටර 336.5ක දැවැන්ත වර්ෂාපතනයක් වාර්තා වී තිබේ.
කළු, කැලණි ගංගා සහ අත්තනගලු ඔය, මහ ඔය ප්‍රදේශ කිහිපයකින් සුළු ගංවතුර මට්ටමට පැමිණ ඇත. කැලණි ගඟ සහ අත්තනගලු ඔය පිටාර ගැලීමේ අවදානම හේතුවෙන් කොළඹ, ගම්පහ, කඩුවෙල, වත්තල, මිනුවන්ගොඩ ඇතුළු පහත්බිම් රැසකට ඉදිරි පැය 24 – 48 තුළ සුළු ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. අධික වැසි හේතුවෙන් කොළඹ – අවිස්සාවේල්ල මාර්ගය ඇතුළු මාර්ග කිහිපයක් ජලයෙන් යටවී ඇති අතර මීරිගම – මීගමුව මාර්ගයේ මැල්ලවගෙදර පාලම සම්පූර්ණයෙන්ම කඩාගෙන ගොස් ඇත.
හලාවත මහ රෝහලේ වාට්ටු 3ක් ජලයෙන් යටවීම නිසා රෝගීන් වෙනත් වාට්ටුවලට මාරු කර ඇති අතර, අයහපත් කාලගුණය හේතුවෙන් රුවන්වැල්ල සහ දෙහිඕවිට ප්‍රදේශවල පාසල් 7ක් වසා දමා තිබේ. පුත්තලම සහ හලාවත ප්‍රදේශවලට බලපෑ සුළි සුළඟකින් නිවාස රැසකට හානි සිදුවී ඇත. කොස්ගම ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් නායයෑමෙන් බිත්තිවලට යටවූ 65 හැවිරිදි පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
දිස්ත්‍රික්ක 6ක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 7ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය (NBRO) විසින් 3 වන මට්ටමේ (ඉවත්වීමේ) රතු නිවේදන නිකුත් කර ඇත.
පවතින අවදානම් තත්ත්වය හේතුවෙන් පහත්බිම් සහ නායයෑම් බෑවුම් ආශ්‍රිතව ජීවත්වන මහජනතාව මෙන්ම රියදුරන් ද දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස වගකිවයුතු ආයතන ඉල්ලා සිටියි.
















