දිවයින පුරා රෝහල් පද්ධතියේ පවතින දැඩි හෙද සහ කනිෂ්ඨ කාර්ය මණ්ඩල හිඟය හේතුවෙන් සේවකයින් දැඩි මානසික හා ශාරීරික පීඩනයකට ලක්ව ඇති බව ඒකාබද්ධ හෙද සේවා සංගමය පවසයි.දැනට රෝහල් පද්ධතිය තුළ හෙද හෙදියන්ගේ පුරප්පාඩු 23,000ක් සහ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ පුරප්පාඩු 14,000ක් පවතී.පවතින කාර්ය මණ්ඩල හිඟය නිසා එක් හෙදියකට හෙදියන් දෙදෙනෙකුගේ වැඩ කොටසක් ආවරණය කිරීමට සිදුව තිබේ. ඇතැම් අවස්ථාවලදී දින කිහිපයක් අඛණ්ඩව සේවයේ නිරත වීමට ඔවුන්ට සිදුවේ.මෙම අධික වැඩ පීඩනය හේතුවෙන් පසුගිය කාලයේ වාර්තා වූ කින්නියා රෝහල් සිදුවීම වැනි ගැටලු රැසක් නිර්මාණය වී ඇති අතර, ඇතැම් හෙද හෙදියන් ජීවිතයෙන් පවා සමුගන්නා තරමට මානසික පීඩනයකට ලක්ව ඇති බව සංගමය පෙන්වා දෙයි.පවතින පීඩනකාරී තත්ත්වය සහ ආර්ථික දුෂ්කරතා හේතුවෙන් හෙද හෙදියන් සීඝ්‍රයෙන් විදෙස්ගත වීම ඉහළ ගොස් ඇත.
හෙද හිඟය පියවීම සඳහා වහාම කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගුකාලීන වැඩපිළිවෙලක් සකස් නොකළහොත්, රෝහල් පද්ධතිය ඉදිරියේදී සම්පූර්ණයෙන්ම කඩා වැටීමේ අවදානමක් පවතින බව ඒකාබද්ධ හෙද සේවා සංගමයේ සභාපති පූජ්‍ය තැන්නේ ඥානානන්ද හිමියන් සහ ලේකම් නිසංසලා ප්‍රනාන්දු මහත්මිය අවධාරණය කරයි. රෝගී සත්කාර සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමේ අභියෝගය හමුවේ හෙද ප්‍රජාව තම සීමාවන් ඉක්මවා සේවයේ නිරත වන බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.
















