ශ්‍රී ලංකාවේ ක්ෂය රෝගය (Tuberculosis) පාලනය කිරීමේ සහ මර්දනය කිරීමේ වැඩසටහන ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික ඇතුළු අනෙකුත් සියලු සහයෝගයන් ඉදිරියටත් ලබාදීමට ඉන්දියාව එකඟතාව පළ කර තිබේ.
තීමෝර් ලෙස්තේහි දිලි (Dili) නුවර පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරයට අතරතුර ශ්‍රී ලංකා සෞඛ්‍ය හා මාධ්‍ය අමාත්‍ය ආචාර්ය නලින්ද ජයතිස්ස මහතා සහ ඉන්දීය සෞඛ්‍ය හා පවුල් සුභසාධන අමාත්‍ය ජගත් ප්‍රකාශ් නඩ්ඩා (J.P. Nadda) මහතා අතර පැවැති ද්විපාර්ශ්වික සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹ ඇත. අතීතයේදී ශ්‍රී ලංකාව මුහුණ දුන් අභියෝගාත්මක අවස්ථාවලදී ඉන්දියාව ලබාදුන් සහයෝගය මෙහිදී අමාත්‍යවරයාගේ ඇගයීමට ලක්විය. මීට අමතරව ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා ජාලය වඩාත් ශක්තිමත් කිරීම, විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල සෞඛ්‍ය සේවාවල ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ දෙරට අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අත්දැකීම් හුවමාරු කරගැනීම පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය. මෙම සාකච්ඡාව සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් ද එක්ව සිටියහ.














