ඉන්දියානු රජයේ ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක වන ඉදිකිරීම් ව්‍යාපෘතිවල මතු වී ඇති ගැටලු සම්බන්ධයෙන්, කම්කරු ඇමැති සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය ඇමැති ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සහ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වී තිබේ.
ඉන්දියානු ආධාර යටතේ ක්‍රියාත්මක වන ඉදිකිරීම් ව්‍යාපෘතිවල ගැටලු විසඳා ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග සහ එම ව්‍යාපෘතිවල ගිවිසුම් අලුත් කරමින් ඉදිරියට පවත්වාගෙන යෑම පිළිබඳව මෙහිදී වැඩි අවධානයක් යොමු විය.
ප්‍රවාහන, මහාමාර්ග, නාගරික සංවර්ධන, වරාය, සිවිල් ගුවන් සේවා, වැවිලි, ප්‍රජා යටිපාල පහසුකම්, නිවාස ඉදිවීම්, ජල සම්පාදන, ධීවර, ජලජ සහ සාගර සම්පත්, විද්‍යා, තාක්ෂණ, අධිකරණ හා ජාතික ඒකාබද්ධතා යන අමාත්‍යාංශ යටතේ මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක වේ.
මීට අමතරව, ආපදා තත්ත්වයන්ගෙන් වූ හානිපූරණය සඳහා ඉන්දියානු රජයෙන් ලබා දුන් ඩොලර් මිලියන 450ක ණය සහ ආධාර යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘති සම්බන්ධයෙන්ද සාකච්ඡා කර ඇති අතර, අදාළ ව්‍යාපෘති සොයා බැලීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ වෙනම ඒකකයක් ස්ථාපිත කිරීම පිළිබඳවද අවධානය යොමු වී ඇත.














