නවදිල්ලි නුවර පැවැත්වෙන ‘Barath Tex’ ජාත්‍යන්තර ප්‍රදර්ශනයට සහභාගී වූ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සහ ඉන්දීය රෙදිපිළි කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය පබිත්‍රා මාගරිටා මහතා අතර විශේෂ ද්විපාර්ශ්වික සාකච්ඡාවක් පෙරේදා (14) සාර්ථකව පවත්වා තිබේ.
මෙම හමුවේදී දෙරට අතර සහයෝගීතාව වර්ධනය කර ගැනීම සඳහා ප්‍රධාන අංශ කිහිපයක් කෙරෙහි අවධානය යොමු විය. තාක්ෂණික හා අධ්‍යාපනික සහයෝගීතාව වර්ධනය කිරීමේ අරමුණින් ඉන්දියාවේ ජාතික මෝස්තර තාක්ෂණ ආයතනය (NIFT) හරහා ශ්‍රී ලාංකික සිසුන් සඳහා උපාධි මට්ටමේ පුහුණු වැඩසටහන් දියත් කිරීමට සහ විෂය නිර්දේශ මෙන්ම තාක්ෂණික දැනුම හුවමාරු කර ගැනීමට සාකච්ඡා කෙරිණි.
එසේම, අත්යන්ත්‍ර (Handloom) රෙදිපිළි කර්මාන්තය සහ නවීන තාක්ෂණික රෙදිපිළි (Technical Textiles) නිෂ්පාදනය සඳහා දෙරටේ හැකියාවන් ඒකාබද්ධ කරමින් ඒකාබද්ධ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමටත්, ශ්‍රී ලංකාවේ ඛනිජ සම්පත් සඳහා ඉන්දියාවේ තාක්ෂණික සහ ආයෝජන දායකත්වය ලබා ගැනීමටත් එකඟතාව පළ විය. 2027 වසරේ පැවැත්වෙන ‘Expo 2027’ ප්‍රදර්ශනය සඳහා ඉන්දීය ආයෝජකයන්ගේ සහ ව්‍යාපාරිකයන්ගේ සහභාගීත්වය ලබා ගැනීම සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා අදහස් හුවමාරු කර ගත්තේය.
ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මහීෂිණි කොලොන්නේ මහත්මිය ඇතුළු දෙරටේ උසස් නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
















