ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර රාජ්‍ය තාන්ත්‍රික හා නිල විදේශ ගමන් බලපත්‍ර හිමියන් සඳහා වීසා නිදහස් කිරීම (Visa Exemption) පිළිබඳව දෙරටේ අවධානය යොමුව තිබේ. විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතාගේ ආරාධනයකට අනුව මෙරට නිල සංචාරයක නිරත වූ ඉන්දුනීසියානු විදේශ කටයුතු උප අමාත්‍ය මුහම්මද් අනිස් මට්ටා (Muhammad Anis Matta) මහතා සමඟ පැවැති සාකච්ඡාවලදී මෙම යෝජනාව පිළිබඳව දීර්ඝ ලෙස සලකා බලා ඇත.
ඉන්දුනීසියානු උප අමාත්‍යවරයා පිළිගනිමින් නියෝජ්‍ය අමාත්‍ය හේමචන්ද්‍ර මහතා දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකාවේ ඇති කැපවීම අවධාරණය කළේය. ද්විපාර්ශ්වික දේශපාලන උපදේශන පිළිබඳ අවබෝධතා ගිවිසුමක් (MoU) සහ රාජ්‍ය තාන්ත්‍රික හා නිල විදේශ ගමන් බලපත්‍ර හිමියන් සඳහා වීසා නිදහස් කිරීමේ ගිවිසුම දැනට අවසන් අදියරේ පවතින බව දෙපාර්ශවයම මෙහිදී සඳහන් කළහ.
ආර්ථික සබඳතා වැඩිදියුණු කිරීමේ වැදගත්කම පෙන්වා දුන් උප අමාත්‍ය මට්ටා මහතා පවතින වෙළඳ පරිමාව ඉහළ නැංවීමේ ක්‍රමවේද හඳුනා ගැනීම පිළිබඳව ද අවධානය යොමු කළේය. දෙරට අතර සබඳතා උපායමාර්ගික හවුල්කාරිත්වයක් දක්වා ඉහළ නැංවීමටත් ඉදිරියේදී ඉහළ මට්ටමේ රාජ්‍ය තාන්ත්‍රික සංචාරයන් හුවමාරු කර ගැනීමටත් දෙපාර්ශවය එකඟ විය. මීට අමතරව සාගර සහයෝගීතාව, සංස්කෘතික හුවමාරුව සහ පුද්ගල සබඳතා ප්‍රවර්ධනය පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.
ඉන්දුනීසියානු උප අමාත්‍යවරයා සිය සංචාරය අතරතුර විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ද හමුවී සාකච්ඡා පවත්වා තිබේ. ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 75 වැනි සංවත්සරය 2027 වසරට යෙදී ඇති බැවින් එම වසරේදී විශේෂ ඉහළ මට්ටමේ සංචාරයන් සංවිධානය කිරීමට ද මෙහිදී එකඟතාව පළ විය.












