ගෝලීය බොරතෙල් මිල මේ වසර අවසානය දක්වා බැරලයක් ඇමරිකානු ඩොලර් 80ක පමණ සීමාවක පවත්වාගතහොත් ශ්‍රී ලංකාවට උද්ධමන පීඩනය සාර්ථකව කළමනාකරණය කරගත හැකි බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදී පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කර ඇත්තේ, මෙම වසරේ දෙවන භාගයේදී සහ ලබන වසරේදී උද්ධමනය මහ බැංකුවේ අපේක්ෂිත 5% ඉලක්කය කරා ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන බවයි. කොළඹ කොටස් වෙළඳපොළ සඳහා ආයෝජන ආකර්ෂණය කරගැනීමේ අරමුණින් ඔස්ට්‍රේලියාවේ සංචාරයක නිරත වන මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ, මේ වසරේ දෙවන භාගයේදී මෙරට ආර්ථික වර්ධනය 4%ත් 5%ත් අතර අගයක පවතිනු ඇති බවත්, 2027 වසරේ දෙවන භාගයේදී වසර හතරක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහන සම්පූර්ණ කිරීමට අපේක්ෂා කරන බවත්ය.














