වෙනත් දියුණු රටවල පවතින මට්ටමට මෙරට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවද පත්විය යුතු බව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා පවසයි. උපයන විට අයකරන බද්ද මඟින් ජනතාව දැඩිලෙස පීඩාවට පත්ව ඇති බව සඳහන් කළ ඔහු, කඩිනමින් එම තත්ත්වය නිවැරදි කිරීම සඳහා පියවර ගතයුතු බවද අවධාරණය කළේය.
ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක සහ දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ආර්.පී.එච්. ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්වුණු දේශීය ආදායම් කොමසාරිස්වරුන්ගේ සංගමයේ 21 වැනි මහ සමුළුවට එක්වෙමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.














