ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ අල්ලස් හා දූෂණ විරෝධී ක්‍රියාමාර්ග සහ ආයතනික සුපිළිපන්භාවය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්, ISO 37001 අල්ලස් විරෝධී කළමනාකරණ පද්ධතිය පිළිබඳ දෙදින වැඩමුළුවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ආරම්භ කෙරිණි.
ජාත්‍යන්තරව පිළිගත් අල්ලස් විරෝධී ක්‍රියාමාර්ග සහ ආයතනික සුපිළිපන්භාවය පිළිබඳ අවබෝධය පුළුල් කිරීම අරමුණු කරගත් මෙම වැඩමුළුවේ ආරම්භක දේශනය ජනාධිපති අතිරේක ලේකම් චන්දිමා වික්‍රමසිංහ මහත්මිය විසින්ද, ප්‍රධාන දේශනය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින්ද පවත්වන ලදී. මීට අමතරව, ජාත්‍යන්තර සම්පත්දායක විශේෂඥ ප්‍රවීන් කුමාර් පශ්රිචා සහ එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානයේ (UNIDO) ජාතික තත්ත්ව විශේෂඥ සුමි එල්. රාජසිංහ යන මහත්ම මහත්මීහුද දේශන පැවැත්වූහ.
අල්ලස් විරෝධී කළමනාකරණ පද්ධති ශක්තිමත් කිරීම, දූෂණ අවදානම් වැළැක්වීම, අභ්‍යන්තර පාලන ක්‍රමවේද වැඩිදියුණු කිරීම සහ අභ්‍යන්තර කටයුතු ඒකක (Internal Affairs Units) ඵලදායීව ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු කෙරුණු අතර, අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, බැංකු සහ පුද්ගලික අංශයේ ප්‍රධානීන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ. එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානය (UNIDO) සහ යුරෝපා සංගමය මෙම වැඩසටහන සඳහා සහාය ලබා දෙයි.














