ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් දිගුකාලීනව මුහුණ දුන් රියදුරු බලපත්‍ර ගැටලුවට ස්ථිර විසඳුමක් ලබා දෙමින් දෙරට අතර අත්සන් කළ රියදුරු බලපත්‍ර අන්‍යෝන්‍ය වශයෙන් පිළිගැනීමේ ගිවිසුම (Mutual Recognition of Driving Licences) මෙම අප්‍රේල් මස සිට බලාත්මක කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි. මෙම ගිවිසුම විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය සහ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය එක්ව සිදු කළ දීර්ඝ රාජ්‍යතාන්ත්‍රික ප්‍රයත්නයක ප්‍රතිඵලයකි.
ඉතාලියේ වසර හයකට අධික කාලයක් නීත්‍යානුකූලව පදිංචිව සිටින ශ්‍රී ලාංකිකයන්ට කිසිදු ලිඛිත හෝ ප්‍රායෝගික රියදුරු පරීක්ෂණයකට මුහුණ දීමෙන් තොරව තම ජාතික රියදුරු බලපත්‍රය ඉතාලි රියදුරු බලපත්‍රයක් ලෙස පරිවර්තනය කර ගැනීමට මේ හරහා අවස්ථාව හිමි වේ. මෙම පහසුකම ඉතාලියේ ජීවත් වන ශ්‍රී ලාංකික ප්‍රජාවගේ රැකියා අවස්ථා පුළුල් කිරීමට සහ ඔවුන්ගේ වෘත්තීය ස්ථායීතාව වර්ධනය කිරීමට මහඟු පිටුබලයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ගිවිසුම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සියලු තාක්ෂණික කටයුතු මේ වන විට සාර්ථකව අවසන් කර ඇති බව ද විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.














