ශ්‍රී ලංකාවේ හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංග, තම ක්‍රීඩා උපකරණවලට සිදුවූ හානියෙන් පසු නව හෙල්ල මිලදී ගැනීමට මූල්‍ය ආධාර ලබාදීමට ඉදිරිපත් වූ සියලු දෙනාට ස්තූතිය පළ කර තිබෙනවා.
කෙසේ වෙතත්, තමන්ට හෙල්ල 100ක් මිලදී ගැනීමට තරම් ආධාර ලබාදීමට පිරිස් ඉදිරිපත් වූ බව සඳහන් කළ ඔහු, එම සහයෝගය රටේ අනෙකුත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටත් ලබාදෙන ලෙස ඉල්ලා සිටියා. ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවේ නිරත වීම අසීරු බවත්, බොහෝ ක්‍රීඩකයන්ට අත්‍යවශ්‍ය උපකරණ තමන්ගේ මුදලින් මිලදී ගැනීමට සිදුවන බවත් ඔහු පෙන්වා දී තිබෙනවා.
තමන් කිසිවෙකුගෙන් මුදල් හෝ එක රුපියලක්වත් භාරගෙන නොමැති බව පැවසූ රුමේෂ් තරංග, ආර්ථික අපහසුතා ඇති පවුල්වල දක්ෂ ක්‍රීඩකයන් මුහුණ දෙන ගැටලු ඉස්මතු කිරීම තම අරමුණ බව සඳහන් කළා. 2026 ආසියානු ක්‍රීඩා උළෙලෙන් පසු වැදගත් වැඩපිළිවෙළක් ආරම්භ කිරීමටද තමන් බලාපොරොත්තු වන බව ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.













