27 April 2024
#දේශීය

ඉලෙක්ට්‍රොනික හා විදුලි කර්මාන්තය නංවාලීම සඳහා ශ්‍රී ලංකාව බංග්ලාදේශය සමඟ අත්වැල් බැඳගනී

බංග්ලාදේශයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (SLEDB) සහ බංග්ලාදේශ වාණිජ හා කර්මාන්ත මණ්ඩලයීය සම්මේලනය (FBCCI) සමඟ එක්ව, ශ්‍රී ලංකාවේ ඉලෙක්ට්‍රොනික හා විදුලි අපනයනකරුවන් සඳහා අතථ්‍ය ව්‍යාපාරාන්තර සැසියක් පසුගිය 12 වනදා සංවිධානය කළේය.

බංග්ලාදේශයේ ප්‍රමුඛ පෙළේ ඉලෙක්ට්‍රොනික හා විදුලි සමාගම් තුනක් මෙම ව්‍යාපාරාන්තර සැසියට සහභාගී විය. ශ්‍රී ලංකාවේ සමාගම්වලට බංග්ලාදේශ වෙළඳපොළ තුළ ව්‍යාප්ත වීම සඳහා පවතින අවස්ථා පෙන්වා දුන් එම සමාගම්, ශ්‍රී ලාංකික සමාගම් 10ක් සමඟ ඵලදායී රැස්වීම් පැවැත්වී ය.

බංග්ලාදේශයේ ඉලෙක්ට්‍රොනික වෙළඳුන්ගේ සංගමය සහ ශ්‍රී ලංකාවේ සමාගම් අතර වෙනත් හමුවක් ද පැවැත්විණි.

මෙම රැස්වීම අතරතුර සිය අදහස් පළ මහලේකම් ගෞරංගා ඩේ මහතා, ශ්‍රී ලංකාවේ ඉලෙක්ට්‍රොනික හා විදුලි කර්මාන්තය නංවාලීම සඳහා ශ්‍රී ලංකාව සමඟ එක්ව කටයුතු කිරීමට සිය සංගමය කැමැත්තෙන් ‍පසු වන බව සඳහන් කළේ ය.එක් එක් සමාගම් තමන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර සඳහන් කොට, එම යෝජනා මෙම සංගමය වෙත ඉදිරිපත් කරන ලෙස මහලේකම්වරයා ශ්‍රී ලංකාවේ සමාගම්වලින් ඉල්ලා සිටියේ ය.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර විදුලි ක්ෂේත්‍රය පිළිබඳ කටයුතු තවදුරටත් සංවර්ධනය කිරීම සහ විවිධාංගීකරණය කිරීම සඳහා ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සහ ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය එක්ව කටයුතු කරයි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *