උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමට රජය දක්වන අවධානයට එරෙහිව දියත් වූ ඇතැම් ක්‍රියාමාර්ග සහ එම පසුබිම තුළ සංගමයේ ව්‍යවස්ථාවට පටහැනිව හදිසි මහා සභා රැස්වීමක් කැඳවීමට එල්ල වූ බලපෑම් හේතුවෙන්, ශ්‍රී ලංකා අධිකරණ විනිසුරුවරුන්ගේ සංගමයේ සභාපති පසන් අමරසේන මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
සංගමයේ ව්‍යවස්ථාපිත රෙගුලාසිවලට අනුව හදිසි මහා සභා රැස්වීමක් කැඳවීමට නම් සමස්ත සාමාජිකත්වයෙන් තුනෙන් එකක් එනම් අවම වශයෙන් සාමාජිකයන් 89 දෙනෙකුගේ ලිඛිත ඉල්ලීමක් අවශ්‍ය වේ. කෙසේ වෙතත්, අද (11) පැවැත්වීමට සැලසුම් කර තිබූ රැස්වීම සඳහා ඊයේ සවස් වන විටත් ලැබී තිබුණේ සාමාජිකයන් 50කට අඩු පිරිසකගේ අත්සන් පමණි.
ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් සිදු කිරීමට උත්සාහ කළ මෙම ක්‍රියාමාර්ගය හමුවේ ඇති වූ අවුල් සහගත තත්ත්වය මත අමරසේන මහතා මෙම තීරණය ගෙන ඇති අතර, ඔහුගේ මෙම දැඩි ස්ථාවරය සංගමයේ බහුතර සාමාජිකයන්ගේ ඇගයීමට ලක්ව ඇත. පසුගිය දා ශ්‍රී ලංකා නීතිඥ සංගමය තුළ ද මෙවැනිම ආකාරයේ අසාර්ථක රැස්වීමක් කැඳවීමට උත්සාහ කිරීමක් වාර්තා වූ අතර, විනිසුරුවරුන්ගේ සංගමය තුළ ද එවැනිම ක්‍රියාමාර්ගයක් ගැනීමට දරන ලද මෙම උත්සාහය මේ වන විට දැඩි විවේචනයට ලක්වෙමින් පවතී.
















