රටේ අධිකරණ පද්ධතිය තුළ ගොඩගැී ඇති මිලියන 1.1කට අධික නඩු කඩිනමින් විසඳීමේ සහ අත්දැකීම් බහුල විනිසුරුවරුන්ගේ සේවය අඛණ්ඩව ලබා ගැනීමේ අරමුණින්, සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව වසර දෙකකින් දීර්ඝ කිරීමට කැබිනට් මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය සම්බන්ධයෙන් ඊයේ (27) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී දැඩි කතාබහක් හා උණුසුම් වාතාවරණයක් ඇති විය. අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කියා සිටියේ, දිසා විනිසුරුවන් සහ මහේස්ත්‍රාත්වරුන් ඇතුළු සමස්ත අධිකරණ සේවයම ආවරණය වන පරිදි 1978න් පසු ප්‍රථම වතාවට සිදු කරන මෙම සංශෝධනය හරහා ජනතාවගේ දිගුකාලීන රස්තියාදු වීමට වැටבඳිනු ඇති බවයි.
පසුගිය වසර 10-15ක කාලය තුළ ජනගහන අනුපාතයට අනුකූලව විනිසුරුවරුන් බඳවා නොගැනීම හේතුවෙන් වත්මන් අර්බුදය නිර්මාණය වී ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා, දියුණු රටවල මිලියනයක ජනගහනයක් සදහා විනිසුරුවරුන් 40ත් 60ත් අතර ප්‍රමාණයක් සිටියද ශ්‍රී ලංකාවේ එම අගය 20ක් වැනි අවම මට්ටමක පවතින බව අවධාරණය කළේය. ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය පමණක් නොව පහළ අධිකරණ පද්ධතිය ද ඉලක්ක කර ගනිමින් ගෙන ඇති මෙම තීරණයට ඇතැම් පාර්ශ්වයන්ගෙන් විරෝධතා මතු වුවද, 2014-2015 වසරවල සිට සහ නීතිඥ සංගමය විසින් විවිධ අවස්ථාවල දී මතු කළ යෝජනා ද සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන ඇති බව ඔහු පැහැදිලි කළේය. තනි පුද්ගලයෙකු හෝ එක් ආයතනයක් ඉලක්ක කර නොගනිමින් සමස්ත පද්ධතියේම කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා මෙම සංශෝධනය සිදු කර ඇති බවත්, රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සහ නීතිපති දෙපාර්තමේන්තුව මුහුණ දී ඇති ගැටලු විසඳීමට ද එකවර කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
අධිකරණයේ ස්වාධීනත්වයට හානි වන බවට ඇතැම් විපක්ෂ පාර්ශ්වයන් නගන තර්ක සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළ අමාත්‍යවරයා, එය කිසිදු පදනමක් නැති ප්‍රකාශයක් බව පෙන්වා දුන්නේය. විනිසුරුවරුන්ගේ අත්දැකීම් වැඩිවත්ම නීතියේ සංවර්ධනයක් සිදුවන අතර, උසාවි කාර්ය මණ්ඩල බඳවා ගැනීම් සහ අනෙකුත් අංශ විධිමත් කිරීම හරහා නඩු විභාග වේගවත් කිරීම වත්මන් රජයේ ප්‍රමුඛතාවක් වී ඇත. ජනතාවගේ මූලික අයිතිවාසිකම් සහ යුක්තිය ඉටු වීමේ වේගය තවදුරටත් තීව්‍ර කිරීම සඳහා ගන්නා මෙම ප්‍රතිපත්තිමය තීරණ ක්‍රියාත්මක කිරීමේදී මතුවන සාධාරණ ගැටලු විසඳීමට රජය සූදානම් බවද මෙහිදී අවධාරණය කෙරිණි.














