ශ්‍රී ලංකාව සහ කෙන්යාව අතර සෞඛ්‍ය, ඖෂධ නිෂ්පාදනය සහ වෙළෙඳ ක්ෂේත්රවල සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කරගැනීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් නයිරෝබි නුවර පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේදී පවත්වා තිබේ.
කෙන්යාවේ ශ්‍රී ලංකා වැඩ බලන මහ කොමසාරිස් රුවිනි ද සිල්වා මහත්මිය සහ කෙන්යාවේ පෞද්ගලික රෝහල් සංගමයේ (KAPH) ප්‍රධාන මෙහෙයුම් නිලධාරිනි ලුසී වන්ජෝහි (Lucy Wanjohi) මහත්මිය අතර මෙම හමුව පැවැත්විණි. මෙහිදී 2027 ජනවාරි 14 සිට 17 දක්වා කොළඹදී පැවැත්වීමට නියමිත “ශ්‍රී ලංකා එක්ස්පෝ 2027″ ප්‍රදර්ශනය පිළිබඳව කෙන්යානු පාර්ශ්වය දැනුවත් කර ඇති අතර, ඊට සමගාමීව 2026 සැප්තැම්බර් 25 නයිරෝබිහිදී සහ ඔක්තෝබර් 02 මොම්බාසාහිදී පැවැත්වෙන තොරතුරු සැසි සඳහා සහභාගී වන ලෙස ද කෙන්යානු ව්‍යාපාරිකයන්ට ආරාධනා කර ඇත. සෞඛ්‍ය, තොරතුරු තාක්ෂණය, තේ, ඇඟලුම් සහ මැණික් ඇතුළු ක්ෂේත්‍ර රැසක ශ්‍රී ලාංකික සමාගම් සමඟ එක්ව කටයුතු කිරීමට කෙන්යානු පෞද්ගලික අංශයට මෙයින් වැඩි අවස්ථාවක් හිමිවනු ඇත.
















