ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් සඳහා දකුණු කොරියාව තුළ පවතින ඉහළ වැටුප් සහිත රැකියා අවස්ථා (South Korea Jobs) ඉදිරි කාලයේදී තවදුරටත් පුළුල් කිරීමට සහ කෝටා ප්‍රතිපාදන (Employment Quotas) ඉහළ නැංවීමට අවශ්‍ය සියලුම රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ සන්නිවේදනයන් සෘජුවම ක්‍රියාත්මක කරමින් පවතින බව විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා ප්‍රකාශ කළේය.
නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේ දකුණු කොරියාවේ මානව හිමිකම් හා මානව සම්පත් සංවර්ධන සේවා ආයතනයේ (HRDK) උසස් නිලධාරීන් සමඟ සෝල් නුවරදී පැවැති විශේෂ සාකච්ඡාවලින් අනතුරුවය.
දැනට කොරියානු රැකියා බලපත්‍ර ක්‍රමය (EPS – Employment Permit System) යටතේ මෙරට ශ්‍රමිකයන්ට හිමිවන අවස්ථා තවදුරටත් පුළුල් කිරීම මෙම සාකච්ඡාවල ප්‍රධාන අරමුණ වී තිබේ. එහිදී ලක්ෂ 5කට අධික ඉහළ මාසික වැටුප් හිමිවන නිෂ්පාදන, ඉදිකිරීම් සහ ධීවර වැනි සාම්ප්‍රදායික ක්ෂේත්‍රවලට අමතරව නව වෘත්තීය අංශයන් සඳහා ද ශ්‍රී ලාංකිකයන්ට අවස්ථා ලබාගැනීම කෙරෙහි අවධානය යොමු කර ඇත.
විශේෂයෙන්ම රැකියා පොරොත්තු ලේඛනවල (Waiting Lists) පවතින ගැටලු කඩිනමින් විසඳීම, කොරියානු භාෂා ප්‍රවීණතා විභාග වඩාත් විනිවිදභාවයකින් යුතුව පැවැත්වීම මෙන්ම මෙරට තුළ ලබාදෙන පූර්ව විදේශගත වීමේ පුහුණු වැඩසටහන්වල ගුණාත්මකභාවය ඉහළ නැංවීම පිළිබඳව ද මෙහිදී දෙපාර්ශවය අතර එකඟතාවන් ඇති වී තිබේ. කොරියානු රජයේ නීතිරීතිවලට අනුකූලව, විනයගරුක සහ ඉහළ වෘත්තීය නිපුනතාවයකින් යුත් ශ්‍රමික බලකායක් දකුණු කොරියාව වෙත යොමු කිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE) උපරිමයෙන් කැපවී සිටින බව ද අරුන් හේමචන්ද්‍ර මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.














