සරුංගල් යැවීම දරුවන් අතර මේ දිනවල ජනප්‍රිය විනෝදාංශයක් බවට පත්ව ඇති බැවින්, ඒ ආශ්‍රිතව සිදුවන හදිසි අනතුරු බහුලව වාර්තා වන බව රිජ්වේ ආර්යා ළමා රෝහල පවසයි. එබැවින් සරුංගල් යැවීමේදී දරුවන්ගේ ආරක්ෂාව සහ නිසි ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කිරීම පිළිබඳව විශේෂ අවධානය යොමු කරන ලෙස එම රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටී.
නොසැලකිලිමත් ලෙස සහ ආරක්ෂිත ක්‍රමවේදවලින් බැහැරව කටයුතු කිරීම හේතුවෙන් දරුවන්ට බරපතල හානි මෙන්ම ඇතැම් අවස්ථාවවලදී ජීවිත අවදානමකට පවා මුහුණ දීමට සිදුවන බව නිවේදනයේ සඳහන් වේ. විශේෂයෙන්ම උස් ස්ථානවල සිට සරුංගල් යැවීමට උත්සාහ කිරීමේදී සිදුවන ඇදවැටීම් සහ අධිබලැති විදුලි රැහැන්වල නූල් ගැටීම නිසා විදුලි සැර වැදීමෙන් බරපතල පිළිස්සුම් තුවාල සිදු විය හැකි බව පෙන්වා දී ඇත. එබැවින් විදුලි රැහැන් පවතින ප්‍රදේශවල දරුවන් සරුංගල් යැවීමෙන් වළක්වා ගැනීමට දෙමාපියන් සහ වැඩිහිටියන් විශේෂ අවධානයක් යොමු කළ යුතුය.














