මධ්‍යම සහ වයඹ පළාත්වල ඉඟුරු වගාවට වැළඳී ඇති පඳුරු සහ අල කුණු වීමේ දිලීර රෝගයක් හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවකට හා විශාල මූල්‍ය අලාභයකට පත්ව ඇති බව ඉඟුරු ගොවීහු පවසති. මහනුවර, මාතලේ සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල මාස හතරක් පමණ වන ඉඟුරු වගාවන්ට මෙම රෝගය බහුලව වැළඳී ඇති අතර, මේ හේතුවෙන් දේශීය පරිභෝජනයට පවා ඉඟුරු නිෂ්පාදනය කර ගැනීම ගැටළුවක් වී තිබේ.
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් දමයන්ති සමරසිංහ මහත්මිය සඳහන් කළේ, වගාවන්හි පඳුරු කහපාට වීම, කඩා වැටීම, අල කුණු වීම සහ දුගඳක් හැමීම වැනි ලක්ෂණ දක්නට ඇත්නම් වහාම එම පඳුරු ගලවා පුළුස්සා දමන ලෙසයි. තවද, මේ සම්බන්ධයෙන් ප්‍රදේශයට අදාළ අපනයන කෘෂිකර්ම ව්‍යාප්ති නිලධාරීවරයා, දිස්ත්‍රික් කාර්යාලය හෝ මාතලේ පිහිටි පර්යේෂණ මධ්‍යස්ථානය දැනුවත් කර අවශ්‍ය උපදෙස් හා සහය ලබා ගන්නා ලෙස ඇය ගොවීන්ගෙන් ඉල්ලා සිටී.














