නේපාලයේ සිදු වූ ඛේදවාචකය මෙන් විපත් කුඩා පරිමාණයෙන් හෝ ශ්‍රී ලංකාව තුළ ද ඕනෑම අවස්ථාවක සිදුවිය හැකි බවට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගර්භ හා භූ විද්‍යා අධ්‍යයන අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා අනතුරු අඟවා සිටී. මෙම ඛේදවාචකය මෙරටටද සෘජු පාඩමක් කියාදෙන බව ඒ මහතා පෙන්වා දෙයි.
මෑතකදී ඇතිවූ ‘දිට්ඨා’ සුළි කුණාටුව අතරතුර සරසවිගම ප්‍රදේශයේ සිදුවූ නායයාම ඊට කදිම උදාහරණයක් වන අතර, එම නායයාම නිසා ප්‍රදේශයේ ඇළ මාර්ගයක් හිරවී මුළු ගම්මානයම යට කරමින් 20කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්විය.
ගංගා සහ ඇළ දොළ ආසන්නයේ පිහිටි දිරාපත් වූ පාෂාණ සහ විශාල පස් තට්ටු නායයාමට ලක්වීමෙන් ජල මාර්ග අවහිර විය හැකි අතර, එලෙස එක්රැස් වන විශාල ජල කඳ එම අවහිරතා බිඳ දමා පහළට ගැලීමෙන් නොසිතූ මොහොතක දැවැන්ත ජලගැලීම් නිර්මාණය වීමේ අවදානමක් පවතින බව මහාචාර්යවරයා පෙන්වා දෙයි. සාමාන්‍ය නායයාම් සිතියම්ගත කරනවා මෙන්ම, මෙලෙස ජල මාර්ග අවහිර වී ක්ෂණිකව ජල ගැලීම් ඇතිවිය හැකි අවදානම් සහිත ප්‍රදේශ ද කඩිනමින් සිතියම්ගත කර පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කිරීම මගින් මෙවැනි ඛේදවාචක ඉදිරියට වළක්වා ගත හැකි වනු ඇත.














