ශ්‍රී ලංකාවේ ප්‍රජා සෞඛ්‍ය ආරක්ෂාව ශක්තිමත් කිරීම, අනතුරු හේතුවෙන් සිදුවන ජීවිත හානි සහ ස්ථිර ආබාධ අවම කිරීමේ අරමුණින් තරුණ තරුණියන් 28,000 දෙනෙකු සඳහා ප්‍රථමාධාර පුහුණුව ලබාදීමේ ජාතික වැඩසටහන තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේදී ආරම්භ කර තිබේ.
“සෑම ග්‍රාම නිලධාරී වසමකටම අවම වශයෙන් නිසි පුහුණුව ලත් තරුණ ප්‍රථමාධාර ලබාදෙන්නන් දෙදෙනෙක්” යන තේමාව යටතේ ක්‍රියාත්මක වන මෙම වැඩසටහන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, ජාතික තරුණ සේවා සභාව සහ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) එක්ව ක්‍රියාවට නංවයි. ග්‍රාම නිලධාරී වසම් 14,000ක් ආවරණය වන පරිදි පුහුණු ප්‍රථමාධාර ශිල්පීන්ගේ ජාලයක් බිහිකිරීම මෙහි ප්‍රධාන අරමුණ වන අතර, පුහුණුව ලබන තරුණයන් වෙත “ප්‍රථමාධාර සහ මූලික ජීවිතාරක්ෂණ” අත්පොත ප්‍රදානය කිරීමද මෙහිදී සිදු කෙරිණි.














