රාජ්‍ය ආයතන පද්ධතිය වඩාත් ගුණාත්මක සහ කාර්යක්ෂම කිරීමේ අරමුණින්, රජයේ ඩිජිටල් ආර්ථික සැලැස්මේ ප්‍රධාන අංගයක් ලෙස “මහජන සේවා ප්‍රශස්තකරණයට බලපෑම් කළ හැකි ආයතනික නියමු ජාලය” (Public Impact Champions Network – PIC-NET) පිහිටුවීමේ කටයුතු ආරම්භ කර තිබේ.
මෙම ව්‍යාපෘතියේ පළමු පියවර ලෙස, රාජ්‍ය ආයතනවල සම්බන්ධීකරණ විධායක නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් කොළඹ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ආයතනයේදී (ICTA) පැවැත්විණි. ජනාධිපති ලේකම් කාර්යාලය විසින් නිකුත් කරන ලද 3/2026 චක්‍රලේඛයට අනුව, රාජ්‍ය ආයතනවල ඩිජිටල් පරිවර්තනය සිදු කිරීම සඳහා ශක්‍යතාව සහ ධාරිතාව ඇති නිලධාරීන් 400 දෙනෙකු “Champions Network” සඳහා බඳවා ගැනීමට නියමිතය.
ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ICTA සභාපති ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා සඳහන් කළේ, දැනට 3%ක් ලෙස පවතින ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය 2030 වසර වන විට 12%ක් දක්වා වර්ධනය කිරීම රජයේ ඉලක්කය බවයි. එසේම, ඉදිරි වසර තුනක කාලය තුළ බැංකු ගනුදෙනු සිදු වන ආකාරයටම, රාජ්‍ය ආයතන අතර සියලු ගනුදෙනු සහ සම්බන්ධීකරණයන් ජාලගත කිරීමට අපේක්ෂා කෙරේ.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය රනිල් පීරිස් මහතා පෙන්වා දුන්නේ, මෙම වැඩසටහන මගින් අනාගතයේදී විදේශ ගමන් බලපත්‍ර අයදුම් කිරීම සහ බලපත්‍ර අලුත් කිරීම වැනි සේවාවන් නිවසේ සිටම අන්තර්ජාලය ඔස්සේ සිදු කළ හැකි පරිසරයක් නිර්මාණය වන බවයි. එමගින් පුරවැසියන්ට එකම තොරතුර නැවත නැවත ඉදිරිපත් කිරීමට සිදු නොවන කාර්යක්ෂම පද්ධතියක් ගොඩනැගෙනු ඇත.
මෙම අති දැවැන්ත තාක්ෂණික පරිවර්තනය සාර්ථක කර ගැනීම සඳහා රාජ්‍ය නිලධාරීන්ගේ සහ මහජනතාවගේ සහයෝගය අත්‍යවශ්‍ය බව බලධාරීන් අවධාරණය කර සිටී. ජනාධිපති කාර්යාලය, GovTech Sri Lanka සහ KPMG ආයතනයේ නියෝජිතයින් විසින් නිලධාරීන් තෝරා ගැනීම සහ පුහුණු කිරීම පිළිබඳ ඉදිරි සැලසුම් මෙහිදී ඉදිරිපත් කරන ලදී.
















