ඒකාබද්ධ සේවාවන්ට අයත් නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු ක්‍රියාවලිය සම්බන්ධයෙන් මතු වී ඇති ගැටලු නිරාකරණය කරමින්, එම ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
අමාත්‍යාංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ අදාළ නිලධාරීන් විසින් සිදුකර ඇති විමසීම් සහ පවතින ගැටලු සැලකිල්ලට ගනිමින් මෙම නව උපදෙස් හා මාර්ගෝපදේශ හඳුන්වා දී ඇත. රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් අනුමත කරන ලද ස්ථාන මාරු පටිපාටියට අනුකූලව, ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මෙම වාර්ෂික ස්ථාන මාරු චක්‍රලේඛය නිකුත් කරනු ලබයි.
මෙම වාර්ෂික ස්ථාන මාරු ක්‍රියාවලිය තුළින් නිලධාරීන්ට විවිධ සේවා ස්ථානවල සේවය කරමින් අත්දැකීම් ලබා ගැනීමට අවස්ථාව උදාවන අතර, එමගින් නිලධාරීන්ගේ වෘත්තීය අභිප්‍රේරණය ඉහළ නැංවීම සහ රාජ්‍ය ආයතනවල පවතින සේවා අවශ්‍යතා වඩාත් මනාව සපුරාලීම රජයේ අපේක්ෂාව වේ.
















