ශ්‍රී ලංකාව ගෝලීය වශයෙන් ප්‍රවර්ධනය කිරීමේ නව අන්තර්කාලීන ඩිජිටල් මාධ්‍ය සහ මහජන සම්බන්ධතා (PR) ප්‍රචාරක වැඩසටහන සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් ආරම්භ කර තිබේ. ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතන (SLITHM) ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මෙම වැඩසටහන එළිදැක්වුණු අතර, මෙම අන්තර්කාලීන ප්‍රචාරක කටයුතු සඳහා රුපියල් මිලියන 600ක ප්‍රතිපාදන වෙන් කර ඇත.
මෙතෙක් කාලයක් මෙරට සංචාරක ප්‍රවර්ධනය සාම්ප්‍රදායික ප්‍රදර්ශන සහ roadshows හරහා B2B වෙත පමණක් සීමා වී තිබුණද, කෘතිම බුද්ධිය (AI) ඔස්සේ සංචාරක සැලසුම් සකස් කෙරෙන වත්මන් යුගයට ගැළපෙන පරිදි ඩිජිටල් ප්‍රවේශයකින් ලෝකය වෙත යාමට රට සූදානම් බව නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.
මෙම අන්තර්කාලීන වැඩපිළිවෙළ ඔස්ට්‍රේලියානු වෙළෙඳපොළ ඉලක්ක කර ගනිමින් ආරම්භ වන අතර, ඉදිරියේදී ජර්මනිය, රුසියාව, ඉන්දියාව සහ චීනය යන රටවල මෙන්ම ලෝක සංචාරක වෙළෙඳපොළ (WTM) ප්‍රදර්ශනයට සමගාමීව ක්‍රියාත්මක වේ. තෝරාගත් රටවල් 6 සඳහා එක් රටකට රුපියල් මිලියන 100 බැගින් වෙන් කර ඇති අතර, මාස 6ක කාලයක් පුරා මෙම ප්‍රචාරණ කටයුතු සිදු කෙරේ. දශකයකට වඩා වැඩි කාලයක් ප්‍රමාද වූ මෙම ව්‍යාපෘතියේ විනිවිදභාවය තහවුරු කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව (ADB) සහ ලෝක බැංකුව (World Bank) වැනි ආයතනවල තාක්ෂණික සහ ප්‍රසම්පාදන සහාය ලබාගෙන ඇත. මෙම මාස හය අවසානයේදී රුපියල් බිලියන 5ක ප්‍රතිපාදන සහිත වසර දෙකක පුළුල් ගෝලීය සංචාරක ප්‍රවර්ධන ව්‍යාපාරයක් ඇරඹීමට නියමිතය.
රටේ ඇති වී තිබෙන ආර්ථික හා දේශපාලන ස්ථාවරත්වයත් සමඟ, මෙම නව ඩිජිටල් ප්‍රවේශය හරහා ශ්‍රී ලංකාව අපේක්ෂා කරන්නේ “ගුණාත්මක සහ ඉහළ ආදායම් ලබන” සංචාරකයින් (up-market tourists) ආකර්ෂණය කර ගැනීමටය. ඒ අනුව සුවතා සංචාරක ගමනාන්තයක් ලෙස මෙන්ම මුහුදු කිමිදීම් (diving) සහ ගොල්ෆ් (golf) වැනි සුවිශේෂී සංචාරක අංශ ප්‍රවර්ධනය කිරීමට නව ඩිජිටල් වේදිකාව යොදාගැනේ.
















