ලංකාව තුළ විදේශීය චිත්‍රපට, වාර්තා චිත්‍රපට සහ ශ්‍රව්‍ය දෘශ්‍ය නිෂ්පාදන සිදු කිරීම සඳහා අවශ්‍ය වන සියලුම රාජ්‍ය අනුමැතීන් කඩිනමින්, විනිවිදභාවයෙන් සහ කාර්යක්ෂමව ලබා දීම සඳහා “Single Window Approval System” නමින් නව ඩිජිටල් පද්ධතියක් ස්ථාපිත කිරීමට රජය පියවර ගෙන තිබේ. මේ පිළිබඳ විශේෂ පාර්ශ්වකාර ආයතන රැස්වීමක් අද (07) ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති සුදත් මහදිවුල්වැව මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙම රැස්වීමට ජනාධිපති ලේකම් කාර්යාලය, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය ඇතුළු ප්‍රධාන රාජ්‍ය ආයතන රැසක ජ්‍යෙෂ්ඨ නිලධාරීන් එක්ව සිටියහ.
මෙම නව ඩිජිටල් වේදිකාව හරහා විදේශීය නිෂ්පාදකයන්ට විවිධ රජයේ ආයතන වෙත වෙන වෙනම යාමට සිදුවන කාලය ඉතිරි වන අතර, සමස්ත ක්‍රියාවලියම සරල වනු ඇත. එමඟින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර චිත්‍රපට නිෂ්පාදනය සඳහා වඩාත් ආකර්ෂණීය ගමනාන්තයක් බවට පත් කිරීම සංස්ථාවේ අපේක්ෂාවයි. මෙම පද්ධතිය කඩිනමින් සංවර්ධනය කිරීම සඳහා සෑම රාජ්‍ය ආයතනයකින්ම විශේෂ සම්බන්ධීකරණ නිලධාරියෙකු (Focal Point Officer) බැගින් නම් කිරීමටද අද පැවැති රැස්වීමේදී එකඟතාව පළ වී තිබේ.
















