සමස්ත දිවයිනම ආවරණය වන පරිදි රජයේ පාසල් තුළ යොවුන් නව නිපැයුම් සමාජ (YIC) සහ පාසල් විද්‍යා සංගම් (SSS) 100 ක් නිල වශයෙන් ලියාපදිංචි කර පිහිටුවීම විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් නැගෙනහිර පළාතේදී සාර්ථකව සිදු කෙරිණි. නැගෙනහිර විශ්වවිද්‍යාලයට අනුබද්ධ ස්වාමි විපුලානන්ද සෞන්දර්ය අධ්‍යයන ආයතන ශ්‍රවණාගාරයේදී මෙම සමාරම්භක උත්සවය පැවැත්විණි.
විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය, ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම, ජාතික විද්‍යා පදනම (NSF) සහ අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව මෙම වැඩසටහන මෙහෙයවනු ලබයි. දිවයිනේ සමස්ත පාසල් පද්ධතිය තුළ දේශීය නවෝත්පාදන ක්‍රියාන්විතය බලගැන්වීම, විද්‍යාව ප්‍රචලිත කිරීම සහ STEM (විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව සහ ගණිතය) අධ්‍යාපනය සඳහා සිසුන් උද්දීපනය කිරීම මෙහි ප්‍රධාන අරමුණයි. ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම මඟින් යොවුන් නව නිපැයුම් සමාජ මෙහෙයවන අතර, පාසල් විද්‍යා සංගම් මෙහෙයවීම ජාතික විද්‍යා පදනම මඟින් සිදු කෙරේ. මේ හරහා සිසුන්ගේ එදිනෙදා ගැටලුවලට නව නිපැයුම් ඔස්සේ විසඳුම් සෙවීම සහ වසර පුරා අන්තර් පාසල් විද්‍යා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සිදුවේ.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා අවධාරණය කළේ, ලෝකය තාක්ෂණය සමඟ වේගයෙන් ඉදිරියට යන යුගයක පාසල් දරුවන් වෙනුවෙන් ආයෝජනය කිරීම රජයේ ප්‍රමුඛතම වගකීමක් බවයි. හුදෙක් නව නිපැයුම්කරණයට පමණක් සීමා නොවී, සිසුන්ගේ නිර්මාණ වාණිජමය අගයක් සහිත නිෂ්පාදන (Commercialized Products) බවට පත්කිරීමට අවශ්‍ය මඟපෙන්වීම අමාත්‍යාංශය හරහා ලබාදෙන බව ද අමාත්‍යවරයා පැවසීය. මෙම අවස්ථාවට විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් මොහොමඩ් නවවී, මහාචාර්ය භාරතී කෙනඩි, නලින් දොලවත්ත, ආචාර්ය දිල්රුක්ෂි රණතුංග යන මහත්ම මහත්මීන් ඇතුළු විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ සිසුන් විශාල පිරිසක් එක්ව සිටියහ.
















