ලෝක බැංකුවේ නවතම දත්ත වාර්තා අනුව, දකුණු ආසියානු කලාපයේ ඒකපුද්ගල දළ දේශීය නිෂ්පාදිතයේ (GDP per Capita) වේගවත්ම වර්ධනය අත්කර ගනිමින් ශ්‍රී ලංකාව පෙරමුණට පැමිණ තිබේ.
2024 වසරේදී ශ්‍රී ලංකාවේ ඒකපුද්ගල දළ දේශීය නිෂ්පාදිතය එක්සත් ජනපද ඩොලර් 4,545ක් වූ අතර, 2025 වසරේදී එය ඩොලර් 5,002 දක්වා 10%ක වර්ධනයක් වාර්තා කර ඇත. කලාපයේ අනෙකුත් රටවල ඒකපුද්ගල දළ දේශීය නිෂ්පාදිත වර්ධනය මාලදිවයින 9%, පාකිස්තානය 8%, භූතානය 6%, නේපාලය 5% සහ ඉන්දියාව 4% ලෙස සටහන් වේ.
ශ්‍රී ලංකා ආර්ථිකය අත්කර ගෙන ඇති ප්‍රගතිය පිළිබඳව ලෝක බැංකුව පෙන්වා දෙන කරුණු අනුව, 2026 වසරේ මුල් භාගයේදී ශ්‍රී ලංකාව 5.1%ක ආර්ථික වර්ධනයක් අත්කර ගැනීමට සමත්ව ඇති අතර, ඉදිරියේදී වාර්ෂික ආර්ථික වර්ධනය 3.5%ත් 4.8%ත් අතර මට්ටමක ස්ථාවර වනු ඇතැයි පුරෝකථනය කෙරේ. රටේ භාවිත කළ හැකි විදේශ සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 5.4 දක්වා ඉහළ ගොස් ඇත. උද්ධමනය 6.8%ක මට්ටමක පාලනය වී ඇති අතර විරැකියා අනුපාතය 4.4% දක්වා වැඩිදියුණු වී ඇත.
මෙම ආර්ථික ස්ථාවරත්වය අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම, පෞද්ගලික ආයෝජන දිරිමත් කිරීම සහ දරිද්‍රතාව පිටුදැකීම අත්‍යවශ්‍ය බව ලෝක බැංකුව වැඩිදුරටත් අවධාරණය කරයි.
















