ශ්‍රී ලංකාව සහ ලෙබනනය අතර සංචාරක ක්ෂේත්‍රයේ ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා විශේෂ පියවර කිහිපයක් ගෙන තිබේ. ඒ අනුව, ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති අනුර විතානගේ මහතා සහ ලෙබනන ජනරජයේ සංචාරක ඇමැති ලෝරා එල් ඛාසන් ලාහුඩ් (Laura El Khazen Lahoud) මහත්මිය අතර විශේෂ සාකච්ඡාවක් බීරූට් නුවර පිහිටි සංචාරක අමාත්‍යාංශයේදී පවත්වා ඇත. දෙරට අතර සංචාරක සහයෝගිතාව ඉහළ නැංවීම වෙනුවෙන් පැවැත්වූ මෙම හමුව ඉතා වැදගත් පියවරක් බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
මෙහිදී අදහස් දක්වමින් ඇමැති ලාහුඩ් මහත්මිය පෙන්වා දුන්නේ සංචාරක ක්ෂේත්‍රය හරහා ආර්ථික වර්ධනය, සංස්කෘතික හුවමාරුව සහ දෙරටේ ජනතාව අතර සබඳතා ප්‍රවර්ධනය කිරීම අන්‍යෝන්‍ය වශයෙන් බෙහෙවින් වාසිදායක වන බවයි. එහිදී තානාපති අනුර විතානගේ මහතා විසින් ශ්‍රී ලංකාව සතු පාරිසරික සංචාරක කර්මාන්තය, සුවතා (Wellness) සහ යෝගා වැඩසටහන්, වනජීවී, වෙරළබඩ සංචාරක ක්ෂේත්‍රය මෙන්ම විවාහ උත්සව සහ මධුසමය සැමරීම සඳහා ලෙබනන වැසියන් තුළ ශ්‍රී ලංකාව කෙරෙහි පවතින උනන්දුව පිළිබඳව ඇමැතිවරිය දැනුවත් කරන ලදී.
මෙම සබඳතා තවදුරටත් තහවුරු කිරීමේ අරමුණින් 2026 ඔක්තෝබර් මාසයේදී බීරූට් නුවරදී විශේෂ ‘ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක්’ සංවිධාන කිරීමට තානාපති කාර්යාලය සැලසුම් කර තිබේ. සංචාරක නියෝජිත ආයතන, මෙහෙයුම්කරුවන් සහ මාධ්‍යවේදීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වන ලෙස කළ ආරාධනය ද ඇමැතිවරිය විසින් සතුටින් පිළිගෙන ඇත. දෙරටේම ආර්ථික සංවර්ධනය සහ දිගුකාලීන මිත්‍රත්වය වෙනුවෙන් ඒකාබද්ධ ප්‍රවර්ධන ක්‍රියාකාරකම් සහ හුවමාරු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට මෙහිදී දෙපාර්ශ්වයම එකඟතාව පළ කළහ.
















