2027 වසර වන විට ශ්‍රී ලංකාවේ පළාත් නවයටම අදාළ වන පරිදි ඒකාබද්ධ සහ විධිමත් ජාතික පෙර පාසල් අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වා දීමට රජය සූදානම් වන බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් මහත්මිය ප්‍රකාශ කරයි. මුල් ළමාවිය අධ්‍යාපන සංවර්ධනය පිළිබඳ වැඩසටහනක සමාරම්භක උළෙලකට එක්වෙමින් අමාත්‍යවරිය මේ බව අවධාරණය කළේය. බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්‌තමේන්තුව සහ මොස්වර්‌ල්ඩ් මාටිනස් පදනම එක්ව ක්‍රියාත්මක කිරීමට යෝජිත, පෙර පාසල් ගුරුවරුන් 500කට ඩිප්ලෝමා සහතික ලබාදීමේ වැඩසටහනේ ගිවිසුම්ගත වීම අමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් බස්නාහිර පළාත් ශ්‍රවණාගාරයේදී අද (22) සිදු කෙරිණි.
ජාතික අධ්‍යාපන ආයතනය සහ විවෘත විශ්වවිද්‍යාලය හරහා ක්‍රියාත්මක කෙරෙන මෙම ඩිප්ලෝමා වැඩසටහන වසර තුනක් තුළ බස්නාහිර පළාතේ සම්පූර්‌ණ කිරීමට සැලසුම් කර ඇත. මීට අමතරව, ආදර්ශ පෙර පාසල් දෙකක් ස්ථාපනය කිරීම, ගුරුවරුන් 1000ක් සඳහා වසර තුනක පුහුණුවක් ලබාදීම, ඉගෙනුම් උපකරණ සහ පොත්පත් බෙදාදීම මෙන්ම දෙමාපිය දැනුවත් කිරීමේ වැඩසටහන් සහ ජංගම කියවීම් මධ්‍යස්ථාන ආරම්භ කිරීම ද මෙම පුළුල් වැඩසටහනට ඇතුළත් වේ. පෙර පාසල් අධ්‍යාපනය විධිමත් කිරීමේ අත්‍යවශ්‍යතාව පෙන්වා දුන් අමාත්‍යවරිය, මුල් ළමාවිය සංවර්ධනය යනු අනෙකුත් අධ්‍යාපනික කටයුතු සමග සමගාමීව ඉදිරියට යා යුතු ප්‍රමුඛතා ක්ෂේත්‍රයක් බව පැවසුවාය.
බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වර්‌නන් පෙරේරා මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන්, විශ්වවිද්‍යාල නියෝජිතයින් සහ මොස්වර්‌ල්ඩ් මාටිනස් පදනමේ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් පැවැති මෙම උත්සවයේදී, අනාගත දරු පරපුරේ ශක්තිමත් පදනම ගොඩනැගීම සඳහා වත්මන් රජය කැපවී සිටින බව අවධාරණය කෙරිණි. දේශීය අධ්‍යාපන පද්ධතිය තුළ පවතින විසිරුණු ස්වභාවය අවසන් කරමින්, ජාතික මට්ටමින් එකම ප්‍රමිතියකින් යුත් පෙර පාසල් අධ්‍යාපන ක්‍රමයක් ස්ථාපිත කිරීම මගින් දරුවන්ගේ අනාගතය වඩාත් සුරක්ෂිත සහ ඵලදායී වනු ඇතැයි රජය විශ්වාසය පළ කරයි.
















