මස්කෙළිය පොලිස් වසමට අයත් ගාඩ්මෝර් ප්රදේශයේ ගල් කන්ද පෞද්ගලික වතුයායේ සිදුවූ විශාල නායයෑමක් හේතුවෙන්, ඊට ඉහළින් පිහිටි වතු නිවාස පෙළක පදිංචිකරුවන් වහාම ක්රියාත්මක වන පරිදි ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට පියවර ගෙන තිබේ.
ප්රදේශයට ඇදහැලුණු අධික වර්ෂාපතනයත් සමඟ මාවුස්සාකැලේ ජලාශයට ඉහළින් පිහිටි මෙම තේ වත්තේ විශාල කොටසක් නායගොස් ඇති අතර, ඒ සමඟම වතුයායට පිවිසෙන ප්රධාන මාර්ගයද සම්පූර්ණයෙන්ම පස් සහ ගල්වලට යටවී වැසී ගොස් ඇත. ගමනාගමන මාර්ග අවහිර වීම නිසා වතුයායට පිවිසීමට වෙනත් විකල්ප මාර්ගයක් නොමැති වීම හේතුවෙන් පදිංචිකරුවන් දැඩි අසීරුතාවකට පත්ව සිටින අතර, අවදානම් සහගත නිවාසවල පදිංචි පවුල් වහාම ආරක්ෂිත ස්ථාන වෙත යොමු කරන ලෙස වතු පාලනාධිකාරියට උපදෙස් ලබා දුන් බව මස්කෙළිය පොලිසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක සරත් පුෂ්පකුමාර මහතා සඳහන් කර ඇත. මීට අමතරව, මෙම නායයෑම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සහ නිරීක්ෂණ කටයුතු සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුවත් කිරීමටද පියවර ගෙන තිබේ.
















