Pew Research Center විසින් දකුණු ආසියාතික රටවල් සම්බන්ධයෙන් සිදු කරන ලද නවතම ජනමත සමීක්ෂණයකින් අනාවරණය වී ඇත්තේ, කලාපයේ සෙසු අසල්වැසි රටවල් අතර එකිනෙකා කෙරෙහි විවිධ විරෝධතා පවතිද්දී, ඉන්දියාව, පාකිස්තානය සහ බංග්ලාදේශය යන රටවල් තුනම එකසේ ධනාත්මක මතයක් දරන එකම රට ශ්රී ලංකාව බවයි.
මෙම සමීක්ෂණයට අනුව, පාකිස්තානුවන් 57%ක් සහ බංග්ලාදේශ ජාතිකයන් 54%ක් ශ්රී ලංකාව කෙරෙහි හිතවත් ආකල්පයක් දක්වා ඇති අතර, 2024 වසරට පසු ඉන්දියානුවන් අතර ද ශ්රී ලංකාව පිළිබඳ ප්රසාදය 6%කින් ඉහළ ගොස් ඇත. එමෙන්ම, ශ්රී ලංකාවේ ප්රතිචාර දැක්වූවන්ගෙන් 79%ක් ඉන්දියාව කෙරෙහි ඉතා හිතකර ආකල්පයක් ප්රකාශ කර ඇති අතර, 63%ක් ඉන්දියාව තම රටේ වැදගත්ම මිතුරා ලෙස හඳුනාගෙන තිබීම ද විශේෂත්වයකි. 2022 ආර්ථික අර්බුදයෙන් පසු දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් වීම මෙම ධනාත්මක වර්ධනයට ප්රධාන හේතුවක් වී ඇති බව පර්යේෂකයෝ පෙන්වා දෙති.














